1. 3. 10.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
30. සැවැත්නුවර–
එහි දි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණනිරෝධය නොදනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද; ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන නො වේ.
(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ) ජාතිය නො දනිත් ද .... භවය ... උපාදාන .... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර නො දනිත් ද, සඞ්ඛාරසමුදය නො දනිත් ද, සඞ්ඛාරනිරෝධය නො දනිත් ද, සඞ්ඛාරා නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත් ද, ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන නො වේ.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.
(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ) ජාතිය දනිත් ද ... භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප .... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද, සඞ්ඛාර නිරෝධය දනිත් ද, සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද; ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
දශබලවර්‍ගය තෙවැනි යි.
එහි උද්දානය:
දසබල සූත්‍ර දෙක ය, උපනිස, අඤ්ඤතිත්‍ථිය, භූමිජ, උපවාණ, පච්චය, භික්ඛු සූත්‍ර ද, සමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයෙකි.
4. කළාරඛත්තිය වර්‍ගය
1. 4. 1.
භූත සූත්‍රය
31. සැවැත්නුවර–
එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක: ශාරීපුත්‍ර, මෙය පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි කියන ලදී:
“මේ ශාසනයෙහි දන්නාලද දහම් ඇති යම් රහත්හු වෙද් ද, බෙහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පිළිවෙත වදාරණු මැනැවැ”යි.
ශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි විතර විසින් කෙසේ අරුත් දැක්ක යුතු ද? මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය. දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක. ... දෙවනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද වී ය.
තෙවනුත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක: ශාරීපුත්‍ර, මෙය පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි දී කියන ලදී:
“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හු වෙද් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පැවැත්ම වදාරණු මැනැවැ” යි.
ශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් කෙසේ දැක්ක යුතු ද? මෙසේ වදාළ කල්හි තෙවනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
ශාරීපුත්‍ර, මේ භූතය (හටගත් බැවින් ‘භූත’ නම් වූ ස්කන්‍ධපඤ්චකය) යී දක්හි යි වදාළ සේක. වහන්ස, මේ ස්කන්‍ධපඤ්චක ය යි සම්‍යක්ප්‍රඥාවෙන් තතු සේ දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ඒ ස්කන්‍ධපඤ්චකය ආහාරයෙන් හටගත්තේ ය යි තතූ සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. ඒ ආහාර නිරෝධයෙන්-යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයන්-යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වහන්ස, මෙසේ ශෛක්‍ෂ වේ. (මෙයින් ශෛක්‍ෂයාගේ පිළිවෙත කියූ.)