1. 1. 6.
වෙස්සභූ සූත්‍රය
6. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් වෙස්සභූ සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
1. 1. 7.
කකුසන්‍ධ සූත්‍රය
7. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කකුසඳ සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
1. 1. 8.
කෝණාගමන සූත්‍රය
8. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කෝණාගමන සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
1. 1. 9.
කස්සප සූත්‍රය
9. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
[පෙය්‍යාලයෙන් සංක්‍ෂිප්ත වූ (5-9) මේ සුත්‍රාන්තයෝ විපස්සී සූත්‍රයෙහි ආ සැටියෙන් විස්තර විසින් දත යුතු වෙත්.]
1. 1. 10.
ගොතම සූත්‍රය
10. මහණෙනි, බුදු වීමට පෙර ම බුදු නො වූ බෝසත් වූ මට මේ සිත පහල විය: “ඒකාන්තයෙන් මේ ලෝකයා දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත වෙයි. නැවතත් උපදී. එහෙත් දිරීම මැරීම පිළිබඳ දුකින් නික්ම යෑමක් නො දනී. කවර කලෙක නම් ජරාමරණ සඞ්ඛ්‍යාත මේ දුකින් නික්ම යෑමෙක් පෙණේ දැ”යි.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ජරාමරණ වේ දැ?”යි මේ අදහස පහළ විය. මහණෙනි, ඒ මට උපාය මනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම්ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය”යි අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේද? … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්‍ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ වෙද් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ හටගණිද්දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගනිති”යි අවබෝධ විය.
මෙසේ මේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය හටගණී. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, “සමුදය සමුදය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්‍ශනය පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.