1. 1. 3.
පටිපදා සූත්‍රය
3. සැවැත්නුවර–
මහණෙනි, තොපට මිථ්‍යාප්‍රතිපදාව ද, සම්‍යක්ප්‍රතිපදාව ද දේශනා කිරීම. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස එසේ ය යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිථ්‍යාප්‍රතිපදාව කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මහණෙනි, මේ මිථ්‍යාප්‍රතිපදා යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක්ප්‍රතිපදාව කවරේද? අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ.
1. 1. 4.
විපස්සී සූත්‍රය
4. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අරහත් විපස්සී සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “මේ ලෝවැසි තෙමේ දුක්පත් ම ය. උපදියි. දිරයි. මියෙයි චුත වෙයි. (නැවතත්) උපදියි. එහෙත් මේ ජරාමරණ දුකෙහි නික්ම යෑම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකෙහි නික්ම යාමෙක් පෙණෙන්නේ දැ” යි.
ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ජරාමරණ වේ දැ”?යි මේ අදහස පහළ විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන්ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” යි අවබෝධ වි ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ඉපැද්ම වේ දැ”?යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය ඇති කල්හි ඉපැද්ම වෙයි. භවය ප්‍රත්‍යයකොට ඉපැද්ම වේ”යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි භවය වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් භවය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන ඇති කල්හි භවය වෙයි. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන්ට “කුමක් ඇති කල්හි උපාදාන වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදාන වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වෙයි. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ස්පර්‍ශය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය ඇති කල්හි ස්පර්‍ශය වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ෂඩායතනය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “නාමරූප ඇති කල්හි ෂඩායතනය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි නාමරූප වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඥානය ඇති කල්හි නාමරූප වෙයි. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් විඤ්ඤාණය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාරය ඇති කල්හි විඥානය වෙයි. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි සංස්කාරයෝ වෙත් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ වෙත් ද?” යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති”යි අවබෝධ වී ය.