1. 1. 10.
ගොතම සූත්රය
10. මහණෙනි, බුදු වීමට පෙර ම බුදු නො වූ බෝසත් වූ මට මේ සිත පහල විය: “ඒකාන්තයෙන් මේ ලෝකයා දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්යුත වෙයි. නැවතත් උපදී. එහෙත් දිරීම මැරීම පිළිබඳ දුකින් නික්ම යෑමක් නො දනී. කවර කලෙක නම් ජරාමරණ සඞ්ඛ්යාත මේ දුකින් නික්ම යෑමෙක් පෙණේ දැ”යි.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්රත්යයයෙකින් ජරාමරණ වේ දැ?”යි මේ අදහස පහළ විය. මහණෙනි, ඒ මට උපාය මනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම්ප්රත්යයයෙන් ජරාමරණ වේ ය”යි අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේද? … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ වෙද් ද? කිනම් ප්රත්යයයෙකින් සංස්කාරයෝ හටගණිද්දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “අවිද්යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ හටගනිති”යි අවබෝධ විය.
මෙසේ මේ අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාරප්රත්යයයෙන් විඥානය හටගණී. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, “සමුදය සමුදය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්ශනය පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද?” … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ නො වෙද් ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ දැ”?යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්රඥායෙන් ද “අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. අවිද්යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ”යි අවබෝධ විය.
මෙසේ මේ අවිද්යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, “නිරෝධය නිරෝධය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්ශනය පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
බුද්ධවර්ගය පළමුවැනි යි
උද්දානය:
දේසනා, විභඞ්ග, පටිපදා, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කස්සප, (මහායස සක්යමුනි) ගොතම ය යි සූත්ර දශයෙකි.