9. 1. 7.
නාගදත්ත සූත්රය
227. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දවල් පෙරළා එයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
නාගදත්ත, අලුයම් කාලයෙහි (පිඬු පිණිස) පිවිස වෙලාව ඉක්මවා හැසිරෙන සුලු වූයෙහි ගිහියන් හා හැනුනෙහි ඉතා දවල් පෙරළා අවුත් (ගිහියන් හා) සමාන සුවදුක් ඇත්තෙහිය.
ඉතා බුහුටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත (මහණහු ගැණ) බමි. බලවත් වූ මෘත්යුරාජ වූ මරුගේ වශයට නො ම පැමිණෙව.
ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වි ය.
9. 1. 8.
කුලඝරණී සූත්රය
228. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ අතිමාත්රකාලයක් වැඩ වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණ සංවිග්න කරවනු කැමැත්තේ ඒ කුලයෙහි ඒ කුලගෙහඹු වෙස් ගෙණ ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
ගං තෙර ද, විඩා සංහිඳුවන තැන ද, සභායෙහි ද, වීථියෙහි ද, ජනයෝ මුළු දී මා ගැණ ද, නුඹ වහන්සේ ගැණ ද කථා කෙරෙත්. කුමන හේතු ද?
තපස්වීහු විසින් ඉවසියයුතු වූ ප්රතිලෝමශබ්දයෝ බොහෝහ. ඒ තපස්වීහු විසින් නිතෙද නො වියයුතුයි. එයින් නො ම කිලිටි වේ.
යමෙක් වෙනෙහි වාතමෘගයකු මෙන් ශබ්දයෙන් තැති ගන්නාසුලු වේ ද, ඔහු ලුහු සිත් ඇතියහ යි කියත්. ඔහුගේ ව්රතය නොසැපයේ.
9. 1. 9.
වජ්ජිපුත්ත සූත්රය
229. එක්කලෙක එක්තරා වජ්ජිපුත්තක මහණෙක් විසල්පුර සමීපයෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි විසල්පුරයෙහි සව්රෑකෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි තැළු තුරුයෙහි හා වැයු වෙණෙහි හා ගොස හා හඬ අසා හඬමින් ඒ වේලායෙහි මේගාථාව කී ය:
අපි වෙනෙහි පියන ලද දරකඩක් මෙන් මෙබඳු රැයෙහි එකලාවමෝ අරණෙහි වසම්හ. කවරෙක් නම් අප වරා අතිශය පාප ඇතියෙක් වේ ද?
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමැති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
තෙපි වෙනෙහි ලූ දරකඩක් මෙන් අරණෙහි එකලා ව වසව. ඒ තොපට දෙව්ලොව යන්නවුන් ට (කැමති වන්නා වූ) නිරිසතුන් මෙන් බොහෝ දෙනෙක් කැමති වෙති.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප් බියට) පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 1. 10.
සජ්ඣාය සූත්රය
230. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පෙර අතිමාත්රකාලයක් හැදෑරීම් බහුල කොට ඇත්තේ වෙසෙයි. (එහෙත්) හෙ තෙමේ පසුකලෙක උත්සාහ රහිත වූයේ කල් ගෙවයි.
එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ දෙවි ඒ මහණහුගේ ධර්මය නො අසන්නේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
මහණ, නුඹ වහන්සේ භික්ෂූන් සමග වෙසෙමින් කුමක් හෙයින් ධර්මපදයන් නොහදාරන්නහු ද? ධර්මය අසා පැහැදීම ලබ යි. ඉහාත්මයෙහි ම පැසැසීම ද ලබයි.
යම්තාක් ආර්ය්යමාර්ගය හා එක් වූවමෝ ද, (ඊට) පෙර ධර්මපදයන්හි ඡන්දරාගය වී ය. යම් හෙයකින් ආර්ය්යමාර්ගය හා එක් වූවමෝ ද (එහෙයින්) යම් කිසි ඇසින් දුටු රූපයෙක් හෝ කණින් ඇසූ ශබ්දයෙක් හෝ කයින් පහස්නා ලද ස්ප්රෂ්ටව්යයෙක් හෝ වේ ද, (ඒ සියල්ල අනිත්යාදි වශයෙන්) දැන දුර ලීම කළම්හ. ආර්ය්යයෝ එය කියත්.