8. 1. 9.
කොණ්ඩඤ්ඤ සූත්රය
217. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්. මම භාග්යවතුන් වහන්සේ හමුවෙහි සුදුසු ගාථායෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරිඳුන් පසසන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස විය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට “භාග්යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්යවතුන් වහන්සේ හමුවෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් පැසසී ය.
(බුදුහුට පසුව චතුරාර්ය්යසත්ය අවබෝධ කළ බැවින්) බුද්ධානුබුද්ධ වූ බහුල වීර්ය්යය ඇති ඒ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ සුඛවිහරණ ඇති චිත්තවිවේකයන් නිතර ලබනසුල්ලහ.
ශාස්තෘශාසනකාරී වූ ශ්රාවකයකු විසින් යමක් ලැබියයුතු ද අප්රමාදී ව හික්මෙන්නා වූ උන්වහන්සේ විසින් ඒ සියල්ල ලබන ලදී.
මහත් අනුභාව ඇති ත්රිවිද්යා ඇති චේතෝපරියඤාණයෙහි දක්ෂ වූ බුද්ධපුත්ර වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳිත්.
8. 1. 10.
මොග්ගල්ලාන සූත්රය
218. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ, මහත් බික්සගන සමග වැඩ වසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසතෙරුන්ට “මේ භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමග වැඩවසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්. මම සුදුසු ගාථායෙන් භාග්යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පසසන්නෙම් නම් මැනවැ”යි මේ අදහස වි ය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට “භාග්යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පැසසී ය.
ත්රිවිද්යා ඇත්තා වූ කෙලෙස් මරු නැසූ ශ්රාවකයෝ පවුපස වැඩහුන් දුක් කෙළවරට පැමිණි සම්බුදු මුනීහු පර්ය්යුපාසනය කෙරෙත්.
මහත් ඍද්ධි ඇති මහමුගලන් තෙරණුවෝ සව්වන්ගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ද, උපධි රහිත දැයි සොයමින් තම සිතින් ඔවුන් ලුහුබැඳ යෙත්.
මෙසේ සියලු ගුණාඞ්ගයන්ගෙන් යුත් දුක් කෙළවරට පැමිණි නොයෙක් අයුරෙන් පිරිපුන් සම්බුදු මුනි වූ ගෞතමයන් වහන්සේ පර්ය්යුපාසනය කෙරෙත්.
8. 1. 11.
ගග්ගරා සූත්රය
219. එක්කලෙක භාග්යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්යවතුන් වහන්සේ ශරීර වර්ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක.