8. 1. 6.
සාරිපුත්ත සූත්රය
214. එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ පරිපූර්ණ වූ පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදව්යඤ්ජන ඇති අර්ත්ථය හැඟවීමට සමර්ත්ථ වූ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වාත්, (ඔවුන්) සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙත්, ඒ භික්ෂූහු ද අර්ත්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ දහම් අසත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “මේ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ පරිපූර්ණ වූ වචන ඇති පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදඛ්යඤ්ජන ඇති අරුත හැඟවීමට සමත් වූ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කරවත්,, ඒ භික්ෂූහු ද අර්ත්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන්ට සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ප්රශංසා කරන්නෙම් නම් ඉතා මැනවැ”යි මේ අදහස වි ය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන් වෙන ඇඳිලි බැඳ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන්ට මෙය කී ය. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මට වැටහෙයි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මට වැටහෙයි. “ඇවැත්නි, වඞ්ගීසයෙනි, තොපට වැටහේවා!”යි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුනට ප්රශංසා කෙළේ ය.
ගැඹුරු පැණැති නුවණැත්තා වූ මග නොමග දැනීමෙහි දක්ෂ මහත් ප්රඥා ඇති ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසත්.
සැකෙවින් ද දේශනා කෙරෙත්, විතරවිසින් ද දේශනා කෙරෙත්. (උන්වහන්සේගේ) මධුර ස්වරය සැළලිහිණියකගේ මෙනි. වැටහීම (මුහුදුරල මෙන්) පැන නගී.
ඇලුම් කටයුතු වූ ඇසියයුතු වූ සිත්කලු ස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේගේ ඒ මිහිරි තෙපුල් භික්ෂුහු අසත්. ඔදවැඩි සිත් ඇත්තාහු ප්රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කෙරෙත්.
8. 1. 7.
පවාරණ සූත්රය
215. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මිගාරමාතුපහයෙහි හැම රහත් වූ පන්සියක් පමණ වූ මහත් බික්සඟන වැඩවසන සේක. එකසමයෙහි භාග්යවතුන් වහන්සේ පුණුරැසි පොහොය වූ එදින (වස් විශුද්ධි) පවුරුණු පිණිස බික්සඟන විසින් පිරිවරණ ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.
එකල්හි භාග්යවතුන් වහන්සේ හාත්පසින් නිහඬ වූ බික්සඟන බලා භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම දැන් තොප පවරමි. මාගේ කායික වූ හෝ වාචසික වූ කිසිවකට තෙපි නො ගරහවු ද?
මෙසේ වදාළ කල්හි දහම්සෙනෙවි ආයුෂ්මත් ශාරීපුත්ර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, අපි (පිරිසිදුම වූ අචාර ආජීව ඇති) භාග්යවතුන් වහන්සේගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ම ගරහමු. වහන්ස, භාග්යවතුන් වහන්සේ වනාහි (කසුප් සම්බුදුහුගෙන් පසු) නූපන් මග උපදවන සේක. නො හටගත් මග දනවන සේක. නො දෙසූ මග දෙසන සේක. මාර්ගය දන්නා සේක. මාර්ගය දත් සේක. මාර්ගයෙහි දක්ෂ සේක. වහන්ස, මාර්ගය අනුව ගිය ශ්රාවකයෝ (බුදුරජානන් වහන්සේට) පසුව (මාර්ගඥානයෙන්) සමන්විත වූවෝ දන් වෙසෙත්. වහන්ස, මම ද භාග්යවතුන් වහන්සේ පවරමි. භාග්යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ කිසි වරදකට ගරහන සේක් ද?