7. 2. 2.
උදය සූත්‍රය
198. සැවැත්නුවර–
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එකල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. දෙවන දිනෙහි දූ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. දෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. තෙවන දිනෙහි දු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. තෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරවා භාග්‍යවතුන් වහන්සේට “රසයෙහි ගිජු වූ මේ මහණ ගොයුම් තෙමේ පුනපුනා ඒ ය”යි මෙය කීය.
[භගවත්හු:]
(ගොවියෝ) පුනපුනා බිජුවට වපුරත් ම ය. වැස්ස පුනපුනා වසී. ගොවියෝ පුනපුනා කෙත සාත්. ධාන්‍ය පුනපුනා රටට පැමිණේ.
යදියෝ පුනපුනා ඉල්ලත්. දානපතීහු දන් දෙත්. දානපතීහු පුනපුනා දන් දී පුනපුනා ස්වර්‍ගස්ථානයට පැමිණෙත්.
කිරි දොවන්නෝ පුනපුනා දොවත්. වස්සා මව කරා පුනපුනා එළඹේ. (සත්‍ව තෙමේ) පුනපුනා ක්ලාන්ත ද, කම්පිත ද වෙයි. බාල තෙමේ පුනපුනා ගැබට පැමිණේ.
පුනපුනා උපදියි. මියෙයි. පුනපුනා සොහොනට ගෙණ යෙත්. නුවණැත්තේ නිවණ ලැබ පුනපුනා නූපදී.
මෙසේ වදාළ කල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 3.
දේවහිත සූත්‍රය
199. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාතයෙන් හටගත් අබාධ ඇති සේක. ආයුෂ්මත් උපවාන තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ඇමතූ සේක. උපවාන, බලව, තෙපි මට උණුදිය (ලැබෙන සැටියක්) දනිවු යි.
වහන්ස, එසේ ය යි කියා ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හැඳ පෙරෙව පා සිවුරු ගෙණ දේවහිත බමුණාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය.
දේවහිත බමුණු තෙමේ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන තෙරුන් දැක්කේ ය. දැක ආයුෂ්මත් උපවාන තෙරුන්ට ගාථායෙන් කීය:
හිස මුඩු කළ සඟල සිවුර පෙර වූ භවත් තෙමේ කුමක් පතමින් කුමක් සොයමින් නිශ්ශබ්ද ව සිටිනෙහි ද, කුමක් ඉල්ලන්නට ආයෙහි ද?
[උපවාන:]
බමුණ, ලොව අර්‍හත් වූ සුගත වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ වාතයෙන් වූ ආබාධ ඇති සේක. ඉදින් උණුදිය ඇත් නම් මුනීන්‍ද්‍රයන් වහන්සේට දෙව.
පිදිය යුත්තන් විසින් පුදන ලද සත්කාර කටයුත්තන් විසින් සත්කාර කරණ ලද අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති කරණ ලද ඒ බුදුරජානන් වහන්සේට ගෙණ යන්නට (උණුදිය) කැමැත්තෙමි.
ඉක්බිති දේවහිත බමුණු තෙමේ උණුදිය කදක් පුරුෂයකු ලවා ගන්වා සකුරුපිඩක් ද ආයුෂ්මත් උපවාන තෙරුන්ට පිදී ය.
ඉක්බිති ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ උණුදියෙන් නාවා උණුදියෙන් සකුරු දිය කොට භාග්‍යවතුන් වහන්සේ පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ අබාධය සංසිඳුනේ ය.
එකල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය.
එකත්පසෙක හුන් දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
දේයධර්‍මය කවරකුට දෙන්නේ ද? කවරකුට දෙන ලද්දේ මහත්ඵල වේ ද? කෙබඳු අයුරකින් කවරකුට දෙන්නහුගේ දක්‍ෂිණාව සමෘද්ධ වේ ද?
[භගවත්හු:]
යමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපායත් දකී ද, වැලි ජාතික්‍ෂයසඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේ ද, මාර්‍ගඥානයෙන් (චතුස්සතය්‍ය) දැන නිම වූ කිස ඇත්තේ ද, කායමෞනත්‍වාදි මෞනගුණ යුක්ත ද,