7. 2. 3.
දේවහිත සූත්රය
199. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේ වාතයෙන් හටගත් අබාධ ඇති සේක. ආයුෂ්මත් උපවාන තෙමේ ද භාග්යවතුන් වහන්සේට උපස්ථායක වෙයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ඇමතූ සේක. උපවාන, බලව, තෙපි මට උණුදිය (ලැබෙන සැටියක්) දනිවු යි.
වහන්ස, එසේ ය යි කියා ආයුෂ්මත් උපවාන තෙමේ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හැඳ පෙරෙව පා සිවුරු ගෙණ දේවහිත බමුණාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය.
දේවහිත බමුණු තෙමේ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන තෙරුන් දැක්කේ ය. දැක ආයුෂ්මත් උපවාන තෙරුන්ට ගාථායෙන් කීය:
හිස මුඩු කළ සඟල සිවුර පෙර වූ භවත් තෙමේ කුමක් පතමින් කුමක් සොයමින් නිශ්ශබ්ද ව සිටිනෙහි ද, කුමක් ඉල්ලන්නට ආයෙහි ද?
[උපවාන:]
බමුණ, ලොව අර්හත් වූ සුගත වූ මුනීන්ද්රයන් වහන්සේ වාතයෙන් වූ ආබාධ ඇති සේක. ඉදින් උණුදිය ඇත් නම් මුනීන්ද්රයන් වහන්සේට දෙව.
පිදිය යුත්තන් විසින් පුදන ලද සත්කාර කටයුත්තන් විසින් සත්කාර කරණ ලද අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති කරණ ලද ඒ බුදුරජානන් වහන්සේට ගෙණ යන්නට (උණුදිය) කැමැත්තෙමි.
ඉක්බිති දේවහිත බමුණු තෙමේ උණුදිය කදක් පුරුෂයකු ලවා ගන්වා සකුරුපිඩක් ද ආයුෂ්මත් උපවාන තෙරුන්ට පිදී ය.
ඉක්බිති ආයුෂ්මත් උපවාන තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ උණුදියෙන් නාවා උණුදියෙන් සකුරු දිය කොට භාග්යවතුන් වහන්සේ පිදී ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේගේ ඒ අබාධය සංසිඳුනේ ය.
එකල්හි දේවහිත බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය.
එකත්පසෙක හුන් දේවහිත බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
දේයධර්මය කවරකුට දෙන්නේ ද? කවරකුට දෙන ලද්දේ මහත්ඵල වේ ද? කෙබඳු අයුරකින් කවරකුට දෙන්නහුගේ දක්ෂිණාව සමෘද්ධ වේ ද?
[භගවත්හු:]
යමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්ගය හා අපායත් දකී ද, වැලි ජාතික්ෂයසඞ්ඛ්යාත අර්හත්වයට පැමිණියේ ද, මාර්ගඥානයෙන් (චතුස්සතය්ය) දැන නිම වූ කිස ඇත්තේ ද, කායමෞනත්වාදි මෞනගුණ යුක්ත ද,
මොහුට දේයධර්මය දෙන්නේ ය. මොහුට දෙන ලද්ද මහත්ඵල වේ. මෙසේ දෙන්නහුගේ දක්ෂිණාව මෙසේ සමෘද්ධ වේ.
මෙසේ වදාළ කල්හි දේවහිත බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ගත් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 4.
මහාසාළ සූත්රය
200. සැවැත්නුවර–
ඉක්බිති ජරාවට පත් වූ දිරා ගිය වස්ත්ර ඇති එක්තරා බමුණුමහසළෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හිඳගත්තේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසළුව භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: බමුණ, කුමක්හෙයින් තෝ ජරාවට පත්වූයෙහි දිරා ගිය වස්ත්ර ඇත්තෙහි ද?
[බමුණු:]
භවත් ගෞතමයෙනි, මෙහි මාගේ පුත්තු සතර දෙනෙකි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොට මා ගෙයින් නෙරති යි.
[භගවත්හු:]
බමුණ, එසේ වී නම් තෝ මේ ගාථා ඉගෙණ සභාවක මහජනසමූහයා රැස්වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කියව:
(මට දාව) උපන්නා වූ යම් කෙනෙකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනකුන්ගේ අභිවෘද්ධිය පැතුයෙම් ද, ඔහු අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුරු කෙරෙත්.
පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙවල සිඟයි.
මාගේ යම් ඒ පුත්රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්රේෂ්ඨ ය. (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි (ගැඹුරුදියෙහි) පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙණ සභාවෙහි මහාජනයා රැස් වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කී ය.