7. 1. 9.
සුන්දරික සූත්රය
195. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්දරිකා ගංතෙර වැඩවසන සේක. එකල්හි සුන්දරිකභාරද්වාජ බමුණු සුන්දරිකා ගංතෙර ගිනි පුදයි. අග්නිහෝමය කෙරෙයි. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු ගිනි පුදා අග්නිහෝමය කොට හුනස්නෙන් නැගිට “කවරෙක් මේ යාගද්රව්යශේෂය වළඳන්නේ වේ දැ”යි හාත්පස සිවුදිගුන් බැලී ය. සුන්දරිකභාරද්වාජ බමුණු එක්තරා රුක්මුලෙක හිස වටා පෙරෙවි වැඩහුන් භාග්යවතුන් වහන්සේ දුටුයේ ය. දැක වමතින් යාගද්රව්යශේෂය ගෙණ දකුණතින් කෙණ්ඩිය ගෙන භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය.
එකල්හි භාග්යවතුන් වහන්සේ සුන්දරිකභාරද්වාජ බමුණාගේ පියහඬින් හිස විවර කළ සේක.
ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු මේ භවත් මුඩු වූවෙක. මේ භවත් මුණ්ඩකයෙකැ යි. එතැනින් ම පෙරළා යනු කැමැති විය. එකල්හි සුන්දරිකභාරද්වාජ බමුණාහට “මෙහි මුඩු වූ ද ඇතැම්හු බමුණු වෙති. මම ඔහු වෙත එළඹ ජාතිය විචාරන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට “භවත් කිනම් ජාති ඇත්තෙක් වේ දැ”යි තෙල කී ය.
[භගවත්හු:]
ජාතිය නහමක් විචාරව (ශීලාදි) චරණය ම විචාරව. කාෂ්ටයෙන් ඒකාන්තයෙන් ගිනි හටගණී. එමෙන් ම පහත් කුලයෙහි උපන්නේ ද, උසස්කුලයෙහි උපන්නේ ද, වීර්ය්යවත් වූයේ කරුණු නො කරුණු දන්නේ ලජ්ජායෙන් පව් වළකා සිටියේ (ක්ෂීණාස්රව) මුනි වෙයි.
යමෙක් (පරමාර්ත්ථ) සත්යයෙන් දැමුනේ ද, ඉන්ද්රිය දමනයෙන් යුක්ත ද, චතුර්මාර්ග සඞ්ඛ්යාත වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද, යුතු කළ දන් ඇතියේ සුදුසු කල්හි ඔහු කැඳවන්නේ ය. හෙ තෙමේ (ඔහු කැඳවා දන් දෙන තැනැත්තේ) දක්ෂිණාර්හයා කෙරෙහි යාග කෙරෙයි.
[බමුණු:]
වේදයෙහි පරතෙරට පැමිණි එබන්දකු යම් හෙයෙකින් දකිම් ද, මා විසින් ඒකාන්තයෙන් මෙය මොනවාට පුදන ලද්දේ වෙයි. මනා කොට (එහෙයින්) හෝම කරණ ලද්දේ වෙයි. මුබ වහන්සේ වැන්නවුන් නො දැක්මෙන් අන්දන හුතාවශේෂය වළඳයි.
භවත් ගෞතම තෙමේ වළඳාවා. භවත් තෙමේ බ්රාහ්මණයෙකි.
[භගවත්හු:]
බමුණ, මා විසින් ගාථාභිගීත පායාසය වැළඳීම නිසි නො වේ. ආජීවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීතය බැහැර කෙරෙත්. බමුණ, ආර්ය්යධර්මය ඇතිකල්හි මේ පැවැත්ම යි.
සියලු ගුණයෙන් යුත් මහර්ෂී වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්ය ආහාරයෙන් ද පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, එසේ නම් මම කවරකුට මේ හුතාවශේෂය දෙම් ද?
[භගවත්හු:]
බමුණ, තථාගතයන්ගේ හෝ තථාගතශ්රාවකයකුගේ හෝ පරිණාමය හැරපියා අන් යමකු විසින් මේ හුතාවශේෂය වළඳන ලද්දේ මැනවින් පැසීමට යන්නේ නම්, බමුණ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන්සියෝ දෙව්මිනිසුන් සහිත ප්රජායෙහි එබන්දකු මම නො ම දකිමි. බමුණ, එසේ වී නම් තෙපි ඒ හුතාවශේෂය තණ නැති බිමෙක හෝ දමව. පණුවන් නැති දියෙක හෝ පා කොට හරුව.