7. 1. 10.
බහුධීතු සූත්‍රය
196. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වසන සේක. එකල්හි එක්තරා භාරද්වාජ ගෝත්‍ර බමුණු කෙනකුගෙන් ගොන්හු තුදුස් දෙනෙක් නටුවාහු වෙත්, ඉක්බිති ඒ භාරද්වාජ ගෝත්‍ර බමුණු තෙමේ ඒ ගොනුන් සොයමින් ඒ වනලැහැබට පැමිණියේ ය. එළඹ ඒ වනලැහැබෙහි උඩු කය කෙළින් තබා (කමටහන්=) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.
(මාගේ) ගොන්හු තුදුස්දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මේ මහණහු ඒකාන්තයෙන් (එබන්දෙක්) නැත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
යම් හෙයකින් මේ මහණහට ලාමකවූ තල ද කොළ එකක් දෙකක් පමණ ඉතිරි වූ තල ද ඒකාන්තයෙන් නැත් ද, එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
(මාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ අධිකෝත්සාහයෙන් නටත්. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
සත්මසක් පමණ වූ (මාගේ) තණ ඇතිරිය එහි ම හටගත් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සැප ඇත්තෙකි.
එක පුතකු ඇත්තාවූ ද පුතුන් දෙදෙනකුන් ඇත්තාවූ ද, වැන්දඹු වූ දුහු සත් දෙනෙක් (මට මෙන්) මේ මහණහට ඒකාන්තයෙන් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුර ඇති (මාගේ බැමිණි තොමෝ) නිදිගත් මා පයින් ගසා පුබුදුවයි. මේ මහණහට ඒකාන්තයෙන් එබන්දෙක් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
අලුයම්හි නය හිමියෝ දෙවු, දෙවු යයි මේ මහණහට (මට මෙන්) ඒකාන්තයෙන් චෝදනා නො ම කෙරෙත්. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
[භගවත්හු:]
බමුණ, (තාගේ) ගොන්හු තුදුස් දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මට (එබන්දෙක්) නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, කෙතෙහි ලාමක වූ තල ද එකක් දෙකක් කොළ ඉතිරි වූ තල ද මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, (තාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ මහත් උත්සාහයෙන් නටත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, සත්මසක් වූ (තාගේ) තණඇතිරිය එහි ම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මට (එබන්දෙක්) නො ම ඇත්තේ ය. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, එක් පුතකු ඇත්තාවූ ද, දෙපුතු කෙනකුන් ඇත්තාවූ ද වැන්දඹු වූ දූහු සත්දෙනෙක් (තට මෙන්) මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුරු ඇති (තාගේ බැමිණිය) නිදි ගත් තා පයින් ගසා පුබුදුවයි. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.