6. 1. 10.
දුතියකෝකාලික සූත්රය
181. සැවැත්නුවර–
එකල්හි කෝකාලික මහණ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කෝකාලික මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, සැරියුත් මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවන්ට වසඟ වූවෝ ය.
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්රියශීලීහ.
දෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, භාග්යවතුන් වහන්සේ මා විසින් ඇදහියයුතු වචන ඇත්තාහු ම ය. විශ්වාස කටයුතු වචන ඇත්තාහු ම ය. එතෙකුදු වුවත් සැරියුත්මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තාහු ම ය. ලාමක ආශාවන්ගේ වශයට ගියාහු ම යයි.
දෙවනවට දු භාග්යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. “කෝකාලික, එසේ නොකියව. කෝකාලික, එසේ නොකියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත්මුගලන් තෙරහු ප්රියශීලීහ” යි.
තෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය ... ලාමක ආශාවන්ගේ වශයට ගියාහු යි.
තෙවනවට දු භාග්යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. ... සැරියුත්මුගලන් තෙරහු ප්රියශීලීහ” යි.
ඉක්බිති කෝකාලික මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. ගිය නොබෝකල් ඇති කෝකාලික මහණහුගේ මුළුකය අබ පමණ වූ ගඩුයෙන් පතුළේ විය. අබ පමණ ව මුං පමණ වූහ. මුං පමණ ව මැහැ පමණ වූහ. මැහැ පමණ ව ඩෙබරඇට පමණ වූහ. ඩෙබරඇට පමණ ව ඩෙබර පමණ වූහ. ඩෙබර පමණ ව ඇඹුළුපක් පමණ වූහ. ඇඹුලුපක් පමණ ව බෙලිබොබොළු පමණ වූහ. බෙලිබොබොළු පමණ ව බෙලි පමණ වූහ. බෙලි පමණ ව බිඳුනාහු ය. පූයාව ද ලේ ද වැගුරුණහ. ඉක්බිති කෝකාලික මහණ තෙමේ ඒ රෝගයෙන් ම කලුරිය කළේ ය. කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත්මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයට පැමිණියේ ය.
ඉක්බිති මනා ඡවිවර්ණ ඇති සහම්පති බ්රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්රහ්ම තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. සහම්පති බ්රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම යෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය මනා ඡවිවර්ණ ඇති සහම්පති බ්රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පති බ්රහ්ම තෙමේ මට මෙය කී ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. මහණෙනි, සහම්පති බ්රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වි ය.