2. පරිනිබ්බාණ වර්‍ගය
6. 2. 1.
සනඞ්කුමාර සූත්‍රය
182. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සප්පිනී ගංතෙර වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු සප්පිනී ගංතෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
ප්‍රජායෙහි යම් කෙනෙක් වංශය සලකන්නාහු ද (ඔවුන් අතුරෙන්) ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ යි. ත්‍රිවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්‍මයන් ගෙන් යුක්ත වූ ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ දෙවි මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වේ.
සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ මෙය කී ය: ශාස්තෲන් වහන්සේ අනුමෝදන් වූ සේක. ඉක්බිති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමෝදන් වූ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
6. 2. 2.
දේවදත්ත සූත්‍රය
183. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් සස්නෙන් බැහැර ගිය නො බොහෝ කලැ ම රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ දෙව්පුතු ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
යම්සේ ඵලය තෙමේ ඒකාන්තයෙන් කෙසෙල්ගස නසා ද, ඵලය තෙමේ මහහුණ නසා ද, ඵලය රනහුණ නසා ද, දරුගැබ (ගද්‍රභයාට දාව උපන් නහඹු) වෙළඹ නසා ද, එසෙයින් ම සත්කාරය තෙමේ නින්‍දිත පුරුෂයා නසයි.
6. 2. 3.
අන්‍ධකවින්‍ද සූත්‍රය
184. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගදරට අන්‍ධකවින්‍ද ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරෙහි අබවස වැඩ හුන් සේක. මේඝය ද එකී එකි පොද හෙළයි.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අන්‍ධකවින්‍දය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය.
ගැඹුරු වල සෙනසුන් සෙවුනේ ය. සංයෝජනයන් ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේ ය. එහි ඉදින් ඇල්මක් නොලබන්නේ නම් රක්නා ලද සිත් ඇතිව (සබ්‍රම්සරුන් නො ගටා) සිහි ඇති ව සඞ්ඝයා අතර වෙසෙන්නේ ය.
ගෝපනය කරණ ලද ඉඳුරන් ඇති ව තීරණප්‍රඥා ඇති ව සිහි ඇති ව කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙමින් ප්‍රාන්ත වූ වනසෙනසුන් සෙවුනේ ය. සසරබියෙන් මිදුනේ නිවණෙහි අධිමුත්ක ව (වසන්නේ ය.)
යම් තැනෙක බිහිසුණු අරමුණුත් සර්‍පයෝත් වෙද් ද. විදුලිය ලෙළෙයි ද, මේඝය ගිගිරි කෙරේ ද, මහණ තෙමේ එහි රෑ ගණඳුරෙහි පහවූ ලොමුදහ ගැණුම් ඇතිව හුන්නේ ය.
මෙය වූ කලි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේ ය. මම මෙය මෙසේ මෙසේ යයි (තර්‍කාදි වශයෙන්) නො කියමි. එක් දහම් දෙසුමෙක මරු පරයා සිටි රහතුන් දහසෙක් ද (වෙයි.)
බොහෝ සේ ශෛක්‍ෂයෝ පන්සියයෙක් ද දශයෙක් ද සියයෙක් ද (වෙති) සියල්ලෝ මාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු අවිනිපාත ස්වභාව ඇත්තෝ වෙති.
යලි මේ අන්‍යප්‍රජා තොමෝ පිණට හිමි යයි මාගේ අදහසයි. (ඔවුන්) ගණින්නට නො හැක්කෙමි. බොරුවට (මා අසුවෙතැයි) බමි.
6. 2. 4.
අරුණවතී සූත්‍රය
185. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
පෙරවූවක් කියමි. මහණෙනි, අරුණවත් නම් රජෙක් විය. මහණෙනි, අරුණවත් රජහට අරුණාවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අරුණාවතී රාජධානිය ඇසුරු කොට වැඩවිසූ සේක. මහණෙනි, භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට අභිභූසම්භව නම් අග්‍ර වූ භද්‍රයුගලය වූ ශ්‍රාවක යුගලයෙක් වි ය.
ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. “බමුණ, යමු බත් වේලාව යම්තාක් වේ ද, එක්තරා බඹලොවකට එළඹෙන්නෙමු”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් ඇස්වී ය.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද අභිගු මහණ තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම අරුණවතී රාජධානියෙන් අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.