5. 1. 8.
සීසූපචාලා සූත්රය
169. සැවැත්නුවර–
එකල්හි සීසූපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුන. අන්ධවනයට බැසගෙන එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සීසූපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සීසූපචාලා මෙහෙණහට මෙය කීය:
මෙහෙණ තො කවරකුගේ පාෂාණ්ඩය (දෘෂ්ටිය) ක් රුස්නෙහි ද?
[සීසූපචාලාවෝ:]
ඇවැත්නි, මම කිසිවකුගේ පාෂාණ්ඩයක් නො ම රුස්නෙමි.
[මරු:]
මෙහෙණක මෙන් පෙණෙහි. කවරකු උදෙසා මුඩු වූ යෙහි ද? පාෂාණ්ඩයක් නුරුස්නෙහි ද? කුමක් හෙයින් මුළා වූවකු මෙන් හැසිරෙහි ද?
[සීසූපචාලාවෝ:]
පාෂාණ්ඩයෝ මේ සස්නෙන් පිටත්හ. ඔහු මිත්ථ්යාදෘෂ්ටීන්හි ගැලෙත්. ඔවුන්ගේ දහම නුරුස්නෙමි. ඔහු දහම්හි අදක්ෂයයහ.
ශාක්යවංශයෙහි උපන් සමාන පුද්ගලයන් නැති සියලු ස්කන්ධාදීන් මැඩ සිටියා වූ මරුන් නෙරැපූ සියලු තන්හි නො පැරදුනු සියලු තන්හි මිදුනු (තෘෂ්ණා දෘෂ්ටීන්) අනිඃශ්රිත වූ සර්වඥයන් වහන්සේ ඇති සේක. සියලු කර්මයන් ක්ෂය කිරීමට පැමිණි උපධිසඞ්ඛය සඞ්ඛාත නිර්වාණයෙහි ලා මිදුනු පසැස් ඇති ඒ භාග්යවතුන් වහන්සේ සියල්ල දක්නා සේක. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ ය. උන්වහන්සේගේ සස්න රුස්නෙමි.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 9.
සේලා සූත්රය
170. සැවැත්නුවර–
එකල්හි සේලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනා ය. අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සේලා මෙහෙණහට බිය තැතිගැනුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ සේලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සේලා මෙහෙණට ගාථායෙන් කී ය:
මේ අත්බව කවරකු විසින් කරණ ලද ද? මේ අත්බැව්හි කාරකයා කවරේ ද? මේ අත්බව කුමක් නිසා උපන්නේ ද? මේ අත්බව කෙසේ නිරුද්ධ වේ ද?
එකල්හි සේලා මෙහෙණට “මේ කවරෙක් ද” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි සේලා මෙහෙණට “මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ අදහස විය. ඉක්බිති සෙලා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවුය:
මේ අත්බැව තමා විසින් කරණලද්දෙක් නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරණලද්දෙක් ද නොවේ. හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ.
කෙතෙහි වපුළ යම්කිසි බිජුවටෙක් පොළෝරසය ද ජලය ද යන ඒ දෙක ලැබගෙන යම්සේ අකුරු නගා ද?
එසෙයින් ම ස්කන්ධයෝ ද, ධාතූහු ද, ෂඩායතනයෝ ද යන මොහු හේතුව නිසා හට ගත්තෝ ය. හේතුභඞ්ගයෙන් නිරුද්ධ වෙත්.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.