5. 1. 9.
සේලා සූත්රය
170. සැවැත්නුවර–
එකල්හි සේලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනා ය. අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සේලා මෙහෙණහට බිය තැතිගැනුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ සේලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සේලා මෙහෙණට ගාථායෙන් කී ය:
මේ අත්බව කවරකු විසින් කරණ ලද ද? මේ අත්බැව්හි කාරකයා කවරේ ද? මේ අත්බව කුමක් නිසා උපන්නේ ද? මේ අත්බව කෙසේ නිරුද්ධ වේ ද?
එකල්හි සේලා මෙහෙණට “මේ කවරෙක් ද” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි සේලා මෙහෙණට “මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ අදහස විය. ඉක්බිති සෙලා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවුය:
මේ අත්බැව තමා විසින් කරණලද්දෙක් නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරණලද්දෙක් ද නොවේ. හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ.
කෙතෙහි වපුළ යම්කිසි බිජුවටෙක් පොළෝරසය ද ජලය ද යන ඒ දෙක ලැබගෙන යම්සේ අකුරු නගා ද?
එසෙයින් ම ස්කන්ධයෝ ද, ධාතූහු ද, ෂඩායතනයෝ ද යන මොහු හේතුව නිසා හට ගත්තෝ ය. හේතුභඞ්ගයෙන් නිරුද්ධ වෙත්.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 10.
වජිරා සූත්රය
171. සැවැත්නුවර–
එකල්හි වජිරා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනා ය. අන්ධවනයට පිවිස එක්තරා රුක් මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු වජිරා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ වජිරා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ වජිරා මෙහෙණට ගාථායෙන් කී ය:
මේ සත්වයා කවරකු විසින් කරණ ලද්දේ ද? මේ සත්වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්වයා කොහි හටගත්තේ ද? මේ සත්වයා කොහි නිරුද්ධ වේ ද?
ඉක්බිති වජිරා මෙහෙණහට “මේ කවරෙක් දෝ” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ මේ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි වජිරා මෙහෙණට ‘මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ සිත විය. ඉක්බිති වජිරා මෙහෙණ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන් ගෙන් පෙරළා කිවු ය:
මරුව, කිම සත්වයෙකැ යි අදහන්නේහි ද? තාගේ මාරදූෂ්ටියෙක් නො වේ ද? මේ හුදු සංස්කාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ.
අවයව සමූහය හේතු කොට ගෙණ යම්සේ රථය යන ශබ්දයෙක් වේ ද? එසේ ම පඤ්චස්කන්ධයන් ඇති කල්හි සත්වයා ය යන ලෝකව්යවහාරය වේ.
දුක ම ලැබේ. දුක ම පවතී. දුක ම විඳී. දුක හැර අනිකෙක් නො ලැබේ. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.
ඉක්බිති පවිටු මාරයා වජිරා මෙහෙණ මා දනී ය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
භික්ඛුනී වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
ආළවිකා, සෝමා, ගෝතමී, විජයා, උප්පලවණ්ණා, චාලා, උපචාලා, සීසුපචාලා, සෙලා, වජිරා යයි ඒ සූත්ර දසයෙකි.
භික්ඛුනීසංයුත්තය නිමියේ යි.