5. 1. 1.
ආළවිකා සූත්රය
162. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි ආළවිකා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුණී විවේකය කැමැත්තී අන්ධවනය වෙත එළඹියා ය.
එකල පවිටු මරු ආළවිකා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ආළවිකා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ආළවිකා මෙහෙණට ගාථායෙන් කී ය:
ලොව නිවණෙක් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහි ද, කාමරතීන් විඳුව, නහමක් පසුතැවිලි වව.
ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ පවිටු මාර තෙමේ මට බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි ආළවිකා මෙහෙණ මෙ පවිටු මරු යයි දැන පවිටු මරුට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
ලොව නිවණෙක් ඇත. මා විසින් (පස්විකන) නුවණින් දන්නා ලදී. පවිටු මරුව, තෝ ඒ නිවන්පදය නොදනිහි.
කාමයෝ අඩයටි හුල් වැන්නහ. ස්කන්ධයෝ මොවුන්ට මස්ලොඹු වැන්නහ. තෝ යම් කාමරතියක් කියහි ද, එය මට අරතියෙක් වි ය.
ඉක්බිති පවිටු මරු ආළවිකා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 2.
සෝමා සූත්රය
163. සැවැත්නුවර–
එකල්හි සෝමා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනී ය. අන්ධවනයට පිවිසි එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සෝමා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් තොර කරණු කැමැත්තේ සෝමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සෝමා මෙහෙණට ගාථායෙන් කී ය:
ඉසිවරුන් විසින් ලැබියයුතු දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද, එය දැඟුල්නුවණ ඇති ස්ත්රිය විසින් නොලැබිය හැක්ක.
ඉක්බිති සෝමා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. එකල්හි සෝමා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යී මේ අදහස විය.
සිත මැනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නහුට ඉතිරිබව කුමක් කරන්නේ ද? මම ස්ත්රියක් මු යි හෝ පුරුෂයෙක් මියි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමකුට මෙසේ අදහස් වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්නට සුදුසු වෙයි.
ඉක්බිති පවිටු මාර තෙමේ සෝමා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.