4. 3. 3.
ගෝධික සූත්‍රය
159. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි පවු ඇළයෙහි කළුගල් තලායෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවතක් ලැබූහ. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ.
දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමාව … වසන්නාහු ලෞකික සමවත ලැබූහ. දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ. තෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සිවුවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. පස්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ.
සත්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවත ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවන්ට “මම සවනවට තෙක් ලෞකික සමවතින් පිරිහිනිමි. මම සැත් අරනෙම් නම්, මනා නො!”යි මේ සිත වි ය.
ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් ආයුෂ්මත් ගෝධික තෙරණුවන් ගේ චිත්තපරිවිතර්‍කය දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් කී ය.
මහාවීරයෙනි, මහපණැතියෙනි, ඍද්ධියෙන් හා පිරිවරින් බබලනුවෙනි, සියලු (පාණාතිපාතාදි) වෙර හා බිය ඉක්ම වූ තැනැත්තෙනි, පසැස් ඇතියෙන්, පා වඳිමි.
මරණය මැඩලන සුලු මහාවීරයෙනි, මුබගේ සව්වෙක් මරණය කැමති වෙයි. පියෝ කෙරෙයි. මහතෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
ජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුනු නොපත් රහත්ඵල ඇති ශෛක්‍ෂ වූ මුබ සව්වෙක් කෙසේ නම් කලුරිය කරන්නේ ද?
එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවන් විසින් සැත් අරනලද්දේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරුයයි දැන පවිටු මරුහට ගාථායෙන් වදාළ සේක.
නුවණැත්තෝ මෙසේ ද කෙරෙත්. දිවි නො පතත්. ගෝධික තෙමේ මුල්සහිත තෘෂ්ණාව උපුටා හැර පිරිනිවියේ ය. (සමසීසී වැ පිරිනිවියෙන් ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ ය)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමුතූ සේක. මහණෙනි, යම්හ, යම්තැනෙක දී ගෝධික කුලපුතු විසින් සැත් අරන ලද්දේ නම් ඒ ඉසිගිලි ඇළය කළුගල්තලාව වෙත එළඹෙන්නෙමු, වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපවුපස කළුගල්තලාව වෙත එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුනු කඳ ඇති ඇඳෙහි උඩුකුරු ව හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුර දී ම දුටු සේක.
එකල්හි ධූමායිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යෙ ම ය. පැළදිගට යේ ම ය උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි තෙල දකිවු ද? ධූමයිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යේ ම ය. පැසුලුදිගට යේ ම ය. උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය. වහන්ස, එසේ ය, මහණෙනි, මේ පවිටු මාර තෙමේ “ගෝධික කුලපුතුගේ විඤ්ඤාණය කොහි පිහිටියේ දැයි ගෝධික කුලපුතුගේ විඥානය සොයයි. මහණෙනි, ගෝධික කුලපුත් තෙමේ නොපිහිටි විඥානයෙන් පිරිනිවියේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ බේලුවපණ්ඩු (විලිකුන් බෙල්පක් පැහැබඳු පැහැ ඇති රන් මුවා) මහවෙණ ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
මම උඩ ද, යට ද, සරස ද, සිවුදිග හා අනුදිග ද ඒ ගෝධික තෙමේ කොහි ගියේ දැයි සොයන්නෙම් නොලබමි.
[භගවත්හු:]
නුවණැති ධෘතිමත් වූ ධ්‍යානකරණ සුලු හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනු ඒ ගෝධික තෙමේ දිවි නොතකමින් දවරෑ දෙක්හි පිළිවෙත් කරනුයේ මරසෙනඟ සිඳ පුනර්‍භවයට නො පැමිණ තෘෂ්ණාව සහමුලු කොට උපුටා හැර පිරිනිවියේ ය.
[තෙරහු:]
ශෝකයෙන් මැඩුනු ඒ මාරයාගේ කැසින් වීණාව ගිලිහුනේ ය. එයින් නොසතුටු සිත් ඇති ඒ මාර තෙමේ එහි ම අතුරුදහන් විය.
4. 3. 4.
සත්තවස්ස සූත්‍රය
160. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි පවිටු මරු සිදුරු සොයන්නේ සිදුරු නො විඳුමින් සත්වසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දේ වේ. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
වෙනෙහි සිතිවිලි සිතයි ද? ශෝකයට බටුයෙහි ද? ධනයක් පැරදුනෙහි ද? වැලි, පතමින් (හිඳිහි ද?) ගමෙහි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක්හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නො කෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නො සැපයේ ද,