එකල්හි ධූමායිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යෙ ම ය. පැළදිගට යේ ම ය උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි තෙල දකිවු ද? ධූමයිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යේ ම ය. පැසුලුදිගට යේ ම ය. උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය. වහන්ස, එසේ ය, මහණෙනි, මේ පවිටු මාර තෙමේ “ගෝධික කුලපුතුගේ විඤ්ඤාණය කොහි පිහිටියේ දැයි ගෝධික කුලපුතුගේ විඥානය සොයයි. මහණෙනි, ගෝධික කුලපුත් තෙමේ නොපිහිටි විඥානයෙන් පිරිනිවියේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ බේලුවපණ්ඩු (විලිකුන් බෙල්පක් පැහැබඳු පැහැ ඇති රන් මුවා) මහවෙණ ගෙණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
මම උඩ ද, යට ද, සරස ද, සිවුදිග හා අනුදිග ද ඒ ගෝධික තෙමේ කොහි ගියේ දැයි සොයන්නෙම් නොලබමි.
[භගවත්හු:]
නුවණැති ධෘතිමත් වූ ධ්යානකරණ සුලු හැමකල්හි ධ්යානයෙහි ඇලුනු ඒ ගෝධික තෙමේ දිවි නොතකමින් දවරෑ දෙක්හි පිළිවෙත් කරනුයේ මරසෙනඟ සිඳ පුනර්භවයට නො පැමිණ තෘෂ්ණාව සහමුලු කොට උපුටා හැර පිරිනිවියේ ය.
[තෙරහු:]
ශෝකයෙන් මැඩුනු ඒ මාරයාගේ කැසින් වීණාව ගිලිහුනේ ය. එයින් නොසතුටු සිත් ඇති ඒ මාර තෙමේ එහි ම අතුරුදහන් විය.
4. 3. 4.
සත්තවස්ස සූත්රය
160. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි පවිටු මරු සිදුරු සොයන්නේ සිදුරු නො විඳුමින් සත්වසක් මුළුල්ලෙහි භාග්යවතුන් වහන්සේ ලුහුබැන්දේ වේ. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
වෙනෙහි සිතිවිලි සිතයි ද? ශෝකයට බටුයෙහි ද? ධනයක් පැරදුනෙහි ද? වැලි, පතමින් (හිඳිහි ද?) ගමෙහි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක්හෙයින් මහජනයා සමග මිත්රභාවය නො කෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්රභාවයෙක් නො සැපයේ ද,
[භගවත්හු:]
මාරය, ශෝකමූල හැම සාරා දමා ශෝක නොකරමින් නිරපරාධ ව සිට ධ්යාන කරමි. සියලු භවලෝභසංඛ්යාත තෘෂ්ණාව සිඳ ආස්රවරහිත වූයෙම් ධ්යාන කරමි.
[මරු:]
මේ මාගේ යයි යමක් කියද් ද, යම් කෙනෙකුත් මා ගැත්තේ යයි කියද් ද, ඉදින් මෙහි මුබගේ සිතෙක් ඇත් නම් ශ්රමණය, මාගෙන් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
මාගේ යයි යමක් කියද් ද, එය මාගේ නො වේ. යම් කෙනෙක් (මාගේ යයි) කියද් ද මම හේ නො වෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මග ද තෝ නොදක්නෙහි ය.
[මරු:]
ඉදින් නිර්භය වූ නිවණට යන මග අවබෝධ කරණ ලද්දේ නම් (මාගේ විෂයයෙන්) පහවනු මැනවි. මුබ ම එකලා ව (ඒ මග) යනු මැනව, කුමක් හෙයින් මෙරමාහට අනුශාසනා කෙරෙහිදැයි.
[භගවත්හු:]
පරතෙරට යන සුලු යම් ජන කෙනෙක් මරුහට විෂය නො වූ නිවණ විචාරද් ද, ඔවුන් විසින් විචාරණ ලද්දෙම් මම යමෙක් සත්ය වේ ද, උපධි රහිත ද, එය කියමි.
[මරු:]
වහන්ස, ගමකට හෝ නියම්ගමකට නුදුරෙහි පොකුණෙක් වේ. එහි කකුළුවෙක් වන්නේ ය. වහන්ස, එකල්හි බොහෝ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් නික්ම ඒ පොකුණ වෙත එළඹෙන්නාහු ය. එළඹ ඒ කකුළුවා ජලයෙන් නඟා ගොඩ තබන්නාහු ය. වහන්ස, ඒ කකුළුවා යම් යම් අළක් ඉදිරියට නමන්නේ ය. ඒ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ඒ අළ ම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ සිඳින්නාහු ය. බිඳින්නාහු ය.. වහන්ස, මෙසේ ඒ කකුළුවා සිඳින ලද බිඳින ලද කැබැලි කැබැලි කොට බිඳින ලද සියලු අළ කරණ කොට ගෙණ පෙර මෙන් නැවත ඒ පොකුණට බස්නට අභව්ය වන්නේ ය.
වහන්ස, ගමකට හෝ නියම්ගමකට නුදුරෙහි පොකුණෙක් වේ. එහි කකුළුවෙක් වන්නේ ය. වහන්ස, එකල්හි බොහෝ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් නික්ම ඒ පොකුණ වෙත එළඹෙන්නාහු ය. එළඹ ඒ කකුළුවා ජලයෙන් නඟා ගොඩ තබන්නාහු ය. වහන්ස, ඒ කකුළුවා යම් යම් අළක් ඉදිරියට නමන්නේ ය. ඒ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ඒ අළ ම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ සිඳින්නාහු ය. බිඳින්නාහු ය.. වහන්ස, මෙසේ ඒ කකුළුවා සිඳින ලද බිඳින ලද කැබැලි කැබැලි කොට බිඳින ලද සියලු අළ කරණ කොට ගෙණ පෙර මෙන් නැවත ඒ පොකුණට බස්නට අභව්ය වන්නේ ය.
වහන්ස, එසෙයින් ම කිසියම් විසූකයෝ (මරවිසුළු) ඇද්ද, කිසියම් විලෝම දැ ඇද්ද, කිසියම් කිසියම් සලන සුලු දැකුම් ඇද්ද, ඒ සියල්ල භාග්යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. කැබැලි කැබැලි කරණ ලදී. වහන්ස, දන් මම සිදුරු සොයන්නෙම් භාග්යවතුන් වහන්සේ වෙත නැවත එළඹෙන්නට නුසුදුස්සෙම් වෙමි යි. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථා කී ය:
කවුඩෙක් මේද තෙල්පැහැ ඇති ගලක් (දැක) එහි මොළොක් බව විඳීම් නම් මැනව, රස විඳ ගැණීමෙක් වන්නේ නම් මැනැව යි ඒ සිසාරන්නේ වේ ද,
ඒ කවුඩු තෙමේ එහි ආස්වාදයක් නො ලැබ (යම්සේ) එයින් පහවන්නේ ද, (මේද තෙල් පැහැ ඇති) ගල වෙත පැමිණ (ආශ්වාදයක් නො ලත් මේ) කවුඩා මෙන් කළකිරී ගෞතමයන් වහන්සේ කෙරෙන් පහව යම්හ.