4. 1. 8.
නන්‍දති සූත්‍රය
144. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ සතුටු වෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ සතුටු වෙයි. උපධීහු මිනිසාගේ නන්‍දනයෝ ය. යමෙක් උපධි රහිත වේ නම් හෙ තෙමේ සතුටු නො වෙයි.
[භගවත්හු:]
දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. උපධීහු මිනිසාගේ ශෝචනයෝ ය. යමෙක් උපධි රහිත නම් හෙ තෙමේ ශෝක නො කෙරේ මැයි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී. … එහි ම අතුරුදහන් වි ය.
4. 1. 9.
පඨම ආයු සූත්‍රය
145. මා විසින් මෙසේ අසන ලදී: එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය, උපනුන්ට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වේ.
එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මිනිසුන්ගේ ආයුෂ දිග ය. සත්පුරුෂ තෙමේ එය හෙලා නො දක්නේ ය. තනපා මතුයෙන් වැටෙන (සත්තන්‍ධය) ලදරුවකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ ඊමෙක් නැත.
[භගවත්හු:]
මිනිසුන්ගේ ආයුෂය අල්ප ය. සත්පුරුෂ තෙමේ එය හෙලා දක්නේ ය. හිස ගිනි ගත්තකු මෙන් හැසිරෙන්නේ ය. මාරණයාගේ නොඊමෙක් නැත.
ඉක්බිති පවිටු මාරයා … එහි ම අතුරුදහන් වි ය.
4. 1. 10.
දුතිය ආයු සූත්‍රය
146. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ස්වල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය. උපන්නහුට නො මැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වේ ද, හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.
එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
රෑ දහවල් ඉක්ම නො යෙත්. ජීවිතය නිරුද්ධ නොවේ. මිනිසුන්ගේ ආයුෂ (ඔවුන්) අනුව ම යේ. රියෙහි කිඹුල්මුව අනුව යන රියනිම්වලල්ල මෙනි.
[භගවත්හු:]
රෑ දහවල් ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂය ගෙවේ. කුඩා නදීන්ගේ දිය මෙනි.