4. 1. 4.
පඨමපාස සූත්‍රය
140. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මා විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය කිරීමෙන් නිරුත්තර විමුක්තිය ලබන ලදු, නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මහණෙනි, තෙපි දූ නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරව.
එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මාරපාශයෙන් බඳනා ලද්දෙහි: දිව්‍ය වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාරබන්‍ධයෙන් බැඳුනෙහි. මහණ, මා කෙරෙත් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
මාරබන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාර බන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 5.
දුතියපාස සූත්‍රය
141. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද (ඒ) සියලු බන්‍ධනයන් ගෙන් මම මිදුනෙම් වෙමි. මහණෙනි, තෙපි දු දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයොත් මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙත් නම් (ඒ) සියලු බන්‍ධනයන් ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකායෙහි හැසිරෙව. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්‍ණ පිරිසිදු මගබඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්‍වයෝ ඇත. ධර්‍මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්‍මය අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මම ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට එළඹෙන්නෙමි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන් ගෙන් බැඳුනෙහි. මහකෙලෙස්බැම්මෙන් බඳනා ලද්දෙහි මහණ, මා කෙරෙන් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන්ගෙන් මම මිදුනෙම් වෙමි. මහාක්ලේශ බන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 6.
සප්ප සූත්‍රය
142. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
එකල පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ බිය තැතිගැන්ම ලොමුදහගැන්ම උපදවනු කැමැත්තේ මහත් නාරජවෙසක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ සිරුර එක්රුක්නෙන් මැවූ මහ ඔරුවක් බඳු වෙයි. ඔහුගේ පෙණය රාකරුවන්ගේ රා පෙරණ මහත් මටුලුකස්සක් බඳු වෙයි. ඔහුගේ ඇස් කොසොල්රජුගේ මහත් කස්තලියක් (භූඤ්ජනපාතියක්) බඳු වෙයි. මේඝය ගිගිරි කරණ කල යම්සේ විදුලිය නික්මේ ද, එපරිද්දෙන් ඔහුගේ මුවෙන් දිව නික්මෙයි. කඹුරුසම වයින් පුරණ කල්හි ශබ්දය යම්සේ ද, ඔහුගේ ආශ්වාසප්‍රශ්වාස ශබ්දය ද එබඳු වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
යමෙක් ශයනය පිණිස ශුන්‍යාගාරයන් සෙවුනේ ද, ඒ බුද්ධමුනි තෙමේ සංයත වූ ආත්මභාව ඇත්තේ වේ. හෙ තෙමේ ඒ ආත්මභාවයෙහි (ආලය) හැරපියා හැසිරෙන්නේ ය. එය එබඳු බුද්ධමුනිහට සුදුසු මැයි.
(සිංහව්‍යාඝ්‍රාදි) බිහිසුණු ජඞ්ගම සත්තු ද බොහෝහ. බිහිසුණු ස්ථාවර අරමුණු ද බොහෝහ. වැලි ඩැහැ ලේ බොන මැස්සෝ ද සර්‍පයෝ ද බොහෝහ. ශුන්‍යාගාරයට වන් සර්‍වඥමුනි තෙමේ ඒ අරමුණු නිමිති කොට ලෝම මාත්‍රයකුදු කම්පන නො කරන්නේ ය.
අහස පැළෙන්නේ නම්, පොළොව සැලෙන්නේ නම්, වැලිත් සියලු සත්තු තැතිගන්නාහු නම්, ඉදින් ලෙහි තියුණු හුල් ගසන්නාහු නම්, බුදුවරයෝ උපධීන් කෙරෙහි පරිත්‍රාණයක් නො කෙරෙති.
එකල්හි පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.