4. 1. 2.
නාග සූත්රය
138. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ දැඩිගනඅඳුරෙහි එළිමහනෙක වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවතුන් වහන්සේට බිය වෙවුළුම ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහත් ඇත්රජවෙසක් මවා ගෙණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ හිස මහකළුගලක් වැන්න. ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬය නගුලිස්දඬක් වැන්න.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක.
දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභ වේශවිලාස කොට (මා වෙත) පැමිණියෙහි ය. මාරය, එයින් තට කම් නැත. මාරයා, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 3.
සුභ සූත්රය
139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සම්බෝධියෙන් පළමුවලා උරුවෙල් දනව්වෙහි … වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
එකල්හි පවිටු මරු තෙමේ භාග්යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි ප්රිය වූත් අප්රිය වූත් විසිතුරු සටහන් දක්වයි.
එකල්හි භාග්යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:
දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.
යම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නො වෙත්.
එකල්හි පවිටු මරු තෙමේ “භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 4.
පඨමපාස සූත්රය
140. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මා විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්රධන්වීර්ය්යය කිරීමෙන් නිරුත්තර විමුක්තිය ලබන ලදු, නිරුත්තර විමුක්තිය ප්රත්යක්ෂ කරණ ලදු. මහණෙනි, තෙපි දූ නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්රධන්වීර්ය්යය වැඩීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත්තර විමුක්තිය ප්රත්යක්ෂ කරව.
එකල්හි පවිටු මරු තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මාරපාශයෙන් බඳනා ලද්දෙහි: දිව්ය වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාරබන්ධයෙන් බැඳුනෙහි. මහණ, මා කෙරෙත් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
මාරබන්ධනයෙන් මිදුනෙම් වෙමි. දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාර බන්ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 5.
දුතියපාස සූත්රය
141. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්සැ”යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද (ඒ) සියලු බන්ධනයන් ගෙන් මම මිදුනෙම් වෙමි. මහණෙනි, තෙපි දු දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයොත් මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙත් නම් (ඒ) සියලු බන්ධනයන් ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකායෙහි හැසිරෙව. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්යඤ්ජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්ණ පිරිසිදු මගබඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්වයෝ ඇත. ධර්මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්මය අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මම ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට එළඹෙන්නෙමි.