3. 3. 5.
පබ්බතූපම සූත්‍රය
136. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද?
වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි.
මහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
වහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද.
මහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
වහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත.
වහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත.
වහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
වහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්‍ත්‍ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
වහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
මහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක:
යම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්‍වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද,
එසේ ජරාවත් මරණයත් ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී.
එහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය.
එහෙයින් ධෛර්‍ය්‍යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය.