3. 3. 4.
ඉස්සත්‍ථ සූත්‍රය
135. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කවුරුන් විෂයෙහි දන් දියයුතු ද?

මහරජ, යමකු කෙරෙහි සිත පහ දී ද (ඔහුට දියයුතුයි) වහන්ස, කවුරුන් කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වේ ද?

මහරජ, කවුරුන් කෙරෙහි දන් දියයුතු ද? යන මෙය අනෙකෙකි. කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ ද? යන මෙය අනෙකෙකි. මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල වේ. දුශ්ශීලයා කෙරෙහි එසේ නො වේ. මහරජ, එසේ නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය පවසව.
මහරජ, ඒ කුමැයි හඟිහු ද? මෙහි තොපට යුද්ධයෙක් එළඹ සිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස්වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි නුපුහුණු කෘතහස්ත නො වූ විදීමෙහි නුපුරුදු සිප් දැක්වුම් නො කළ බියගුලු වෙවුළන තැතිගන්නා සුලු පලා යන කැත් කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරවූ ද, එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩ ඇත් ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
එකල්හි නුපුහුණු බමුණු කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු වෙස්කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු ශුද්‍ර කුමරෙක් එන්නේ නම් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය නො කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
මහරජ, ඒ කුමකැයි හඟිහු ද? මෙහිතොපට යුද්ධයෙක් එළඹසිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස් වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති සිප් දැක්වුම් කළ බියගුලු නො වූ නොවෙවුළන නො තැතිගන්නා පලා නො යනසුලු කැත්කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද්ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.
එකල්හි මැනැවින් පුහුණු වූ බමුණු කුමරෙක් එන්නේ නම් .. මැනවින් පුහුණු වූ වෙස් කුමරෙක් … මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති කළ සිප් දැක්වුම් ඇති බියගුලු නො වූ නො වෙවුළන නොතැති ගන්නා පලා නො යන සුලු කුමරෙක් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.
මහරජ, එසෙයින් ම යම් කවර කුලයෙකින් හෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වේ ද? හෙ තෙමේත් ප්‍රහීණ වූ පසඟක් ඇත්තේ පසඟෙකින් සමන්‍විත වූයේ නම් ඔහු කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.
කවර පසක් ප්‍රහීණ වූයේ වේ ද? යත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වෙයි. ථීනමිද්ධය ප්‍රහීණ වූයේ වෙයි. උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වූයේ වෙයි. විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වෙයි. මේ පසඟ ප්‍රහීණ වූයේ වේ.
කවර පසඟෙකින් සමන්‍විත වූයේ ද? යත්: අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. මේ පසඟින් සමන්‍විත වූයේ වෙයි.
මෙසේ ප්‍රහීණ වූ පසඟක් ඇති පසඟෙකින් සමන්‍විත වූවාහු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත පසු ව මෙය ද වදාළ සේක.
යම් තරුණයෙක් කෙරෙහි ධනුශිල්පයත් කායික චෛතසික වීර්‍ය්‍යයත් විද්‍යමාන වේ නම් රජ තෙමේ ඔහු යුද පිණිස පෝෂණය කරන්නේ ය. අදක්‍ෂයා ජාතිය හේතු කොට ගෙණ පෝෂණය නොකරන්නේ ය.
එපරිද්දෙන් ම යමකු කෙරෙහි ඉවසීම ද රහත්බව ද යන ධර්‍මයෝ පිහිටියාහු ද ආර්‍ය්‍ය පැවතුම් ඇති නුවණැති ඔහු හීනජාතිකයකු වු ව ද පුදන්නේ ය.
සිත්කලු අසපු කරවන්නේ ය. එහි බහුශ්‍රැතයන් වස්වන්නේ ය. නිරුදක අරණ්‍යයෙහි පැන්පොකුණු ද නොසමබිම්හි සක්මන්මලු ද කරවන්නේ ය.
අහර ද පැන් ද කැවිලි ද වත්සෙනසුන් ද රහතුන් කෙරෙහි පහන්සිතින් දෙන්නේ ය.