3. 3. 3.
ලෝක සූත්‍රය
134. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෙතෙක් ලෝකධර්‍මයෝ උපදනාහු අහිත පිණිස දුක් පිණිස අපහසු විහරණය පිණිස උපදිද් ද?
මහරජ, ලෝදහම් තුනෙක් උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී. කවර තුනෙක් ද? යත්: මහරජ, ලෝභ සඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂසඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මෝහ සඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ ලෝකධර්‍ම තුන උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී.
ලෝභය ද ද්වේෂය ද මෝහය ද තමා තුළ හටගත්තාහු පවිටු සිත් ඇති මිනිසා පෙළත්. සිය පලය පොතුහර රුකක් (නසන්නාක්) මෙනි.
3. 3. 4.
ඉස්සත්‍ථ සූත්‍රය
135. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කවුරුන් විෂයෙහි දන් දියයුතු ද?

මහරජ, යමකු කෙරෙහි සිත පහ දී ද (ඔහුට දියයුතුයි) වහන්ස, කවුරුන් කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වේ ද?

මහරජ, කවුරුන් කෙරෙහි දන් දියයුතු ද? යන මෙය අනෙකෙකි. කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ ද? යන මෙය අනෙකෙකි. මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල වේ. දුශ්ශීලයා කෙරෙහි එසේ නො වේ. මහරජ, එසේ නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය පවසව.
මහරජ, ඒ කුමැයි හඟිහු ද? මෙහි තොපට යුද්ධයෙක් එළඹ සිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස්වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි නුපුහුණු කෘතහස්ත නො වූ විදීමෙහි නුපුරුදු සිප් දැක්වුම් නො කළ බියගුලු වෙවුළන තැතිගන්නා සුලු පලා යන කැත් කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරවූ ද, එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩ ඇත් ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
එකල්හි නුපුහුණු බමුණු කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු වෙස්කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු ශුද්‍ර කුමරෙක් එන්නේ නම් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය නො කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.