3. 3. 1.
පුග්ගල සූත්රය
132. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ, ලෝකයෙහි මේ පුද්ගලයෝ සිවු දෙනෙක් ඇත. කවර සිවු දෙනෙක? යත්: “අඳුරෙන් අඳුරට යන්නේ ය. අඳුරෙන් එළියට යන්නේ ය. එළියෙන් අඳුරට යන්නේ ය. එළියෙන් එළියට යන්නේ ය”යි.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයෙක්හි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදි කුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඩු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ නොමනා පැහැ ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් බොහෝ අබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් අඬක්නටුයෙක් හෝ වේ ද, ආහාරපාන වස්ත්ර යාන මල්ගඳ විලෙවුන් යහන් ලැඟුම් පහන් උපකරණ නො ලබන්නෙක් වෙ යි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ ය.
මහරජ, පුරුෂයෙක් අඳුරෙකින් අඳුරකට යන්නේ හෝ වේ නම් කළුවරින් කළුවරට යන්නේ හෝ වේ නම් ලෙහෙමලට යන්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුඟුල් තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයකේහි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු වූ සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදිකුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේත් නො මනා පැහැඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් බොහෝ ආබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් පක්ෂඝාතයෙක් හෝ වෙයි. ආහාරපාන වස්ත්රයාන මල් ගඳ විලෙවුන් යහන් ලැඟුම් ප්රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙයි.
මහරජ, යම්සේ පුරුෂයෙක් තෙමේ බිමින් පලඟකට නගින්නේ හෝ වේ නම් පලඟින් අසුපිටට නගින්නේ හෝ වේ නම් අසුපිටින් ඇත්කඳකට නගින්නේ හෝ වේ නම් ඇත්කඳින් පහයකට නගින්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ.