3. 2. 9.
පඨම අපුත්තක සූත්‍රය
130. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල්හි (මධ්‍යාහ්නයෙහි) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජ, දැන් තෙපි දෙවෙන් දවහල කොට සිට එවූ දැ”යි.
වහන්ස, මෙහි සැවැත්නුවර සිටුගැහැවි තෙමේ කලුරිය කළේ ය. මම අපුත්‍රක වූ ඒ ධනය ඇතුළු රජගෙට ගෙන්වා තබා එමි. වහන්ස, (එහි) රන්මිල ම අසූලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? (එහෙත්) වහන්ස, ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවැනි කොට ඇති නිවුඩුහාලේ බත් බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: කැබැලි තුනක් සැමැන්හු හණවැහැරියක් දරයි. යානපරිභෝගය මෙබඳු වි ය: දරණ ලබන පත්කුඩයෙකින් යුත් දැදුරු වූ කුඩාරියෙකින් යයි.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, අසත් (ලාමක) පුරුෂ තෙමේ මහත් භෝග ලැබ (ද) තමා නො ම සුඛිත කෙරෙයි. නො ම පිණවයි. මවුපියන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. අඹුදරුවන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මහණබමුණන් කෙරෙහි මතුමත්තෙහි සුව දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව නො පිහිටුවයි. (නොදෙයි). මෙසේ මැනවින් පරිභෝග නොකරණ ඔහුගේ ඒ ධනය රජහු හෝ හැර ගණිත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ නඟයි. අප්‍රිය වූ දායාදයෝ (දූදරු පරපුර) හෝ හැර ගණිත්. මහරජ, මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන එ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
මහරජ, යම්සේ අමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක පහන් දිය ඇති සිහිල්දිය ඇති මිහිරිදිය ඇති හෙළ රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය නො ම හරණේ ය. නො බොන්නේ ය. නො නහන්නේ ය. පසවැටෙන සෙයින් හෝ නො කරන්නේ ය. මහරජ, එසේ ඒ දිය මැනවින් පරිභෝග නොකරණු ලබන්නේ සිඳ යන්නේ ය. පරිභෝගයට නො පැමිණෙන්නේ ය.
මහරජ, එමෙන් ම ලාමක පුරුෂ තෙමේ මහත්භෝග ලැබ තමා නොම සුඛිත කෙරෙයි නො පිණවයි. … අප්‍රිය වූ දායාදයෝ හෝ හැර ගණිත්. මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන්නා වූ ඒ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
මහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි, පිණවයි. මවුපියන් සුඛිත කෙරෙයි, පිණවයි. අඹුදරුවන් සුඛිත කෙරෙයි, පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි, පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත කෙරෙයි, පිණවයි. මහණබමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙණ දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඔහුගේ ඒ භෝගයන් රජහු නොම හැර ගණිත්. සොරු නො පැහැර ගණිත්. ගින්න නො දවයි. ජලය නො නඟයි. අප්‍රිය වූ දායාදයෝ නො හැර ගණිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නො යෙත්.
මහරජ, යම්සේ ගමක් හෝ නියම්ගමක් අසල පහන්දිය ඇති සිහිල් දිය ඇති මිහිරිදිය ඇති සුදු රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය ගෙණ යන්නේත්, බොන්නේත්, නහන්නේත් පසවැටෙනසෙයින් හෝ කරන්නේත් වේ. මහරජ, මෙසේ පරිභෝග කරණු ලබන ඒ ජලය පරිභෝගයට යන්නේ ය. නොසිඳී යන්නේ ය. මහරජ, එපරිද්දෙන් ම නුවණැති සත්පුරුෂ තෙමේ මහත් භෝගයන් ලැබ තමා සුඛිත කෙරෙයි. පිණවයි. … මෙසේ ඒ භෝගයෝ මැනවින් පරිභෝග කරණු ලබන්නාහු පරිභෝගයට යෙති. විනාශයට නො පැමිණෙති.