3. 2. 10.
දුතිය අපුත්තක සූත්‍රය
131. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මහරජ, “දැන් තෙපි මධ්‍යාහ්නයෙහි කොහි සිට එවු දැ”යි මෙය වදාළ සේක.
වහන්ස, මේ සැවැත්නුවර සිටු ගැහැවි තෙමේ කාලගත විය. මම ඒ දරුවන් නැති සැපත ඇතුළුරජගෙට නඟා යවා එමි. වහන්ස, රන්මිල ම සියක්ලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? වහන්ස,ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සහලේ බත බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: සැමැන්නු තුන්කඩක් ඇති හණ වැහැරිවතක් දරයි. රථපරිභෝගය මෙබඳු විය: දරණ ලබන පත්කුඩයක් ඇති දැදුරු වූ කුඩා රියෙකින් ගමන් කරයි.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. පෙර වූවක් (කියමි): මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදු රජුහු පිණ්ඩපාතයෙන් පැවරී ය. “මහණහුට පිඬු දෙව”යි කියා හුනස්නෙන් නැගිට ගියේ ය. දී පසුව “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැ”යි විපිළිසර ඇත්තේ විය. ධනහේතුවෙන් බෑයාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ ය.
මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදුරජුන් පිණ්ඩපාතයෙන් පැවරී යන යමක් ඇද්ද ඒ කර්‍මවිපාකයෙන් සත්වරක් සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට (උත්පත්තිවශයෙන්) පැමිණේ ය. ඒ කර්‍මයාගේ ම විපාකාවශේෂයෙන් මේ සැවැත්නුවර ම සත්වරක් සිටුකම් කරවී ය.
මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ දී (පසුව): “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැයි” විපිළිසර ඇති වී යන යමක් ඇද්ද, ඒ කර්‍මයාගේ විපාකය හේතු කොට ගෙණ උදාර වූ බත් වැළඳීම පිණිස සිත නො නැමෙයි. උදාර වූ වස්ත්‍රපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ රථපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ පස්කම් සැප අනුභවය පිණිස සිත නො නැමෙයි.
මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ ධනහේතුවෙන් සොහොයුරාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ යන යමක් ඇද්ද, ඒ කර්‍මවිපාකයෙන් බොහෝ ගණන් හවුරුදු බොහෝ සිය ගණන් හවුරුදු බොහෝ දහස් ගණන් හවුරුදු බොහෝ සියදහස් ගණන් හවුරුදු නරකයෙහි පැසුනේ ය. ඒ කර්‍මයාගේ ම ඉතිරිවිපාකය වශයෙන් මේ සත්වැනි දරුවන් නැති වස්තුසමූහය රාජකෝෂ්ටාගාරයට ඇතුළු කෙරෙයි. මහරජ, ඒ සිටු ගැහැවිහුගේ පැරණි පින ගෙවී ගියේ ය. අලුත් පිනෙක් ද රැස් නො කරණ ලද්දේය. මහරජ, අද සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයෙහි පැසේ යයි. වහන්ස, එසේ ද? සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයට (උත්පත්තිවශයෙන්) පැමිණියේ ද? මහරජ, එසේ ය, සිටු ගැහැවි තෙමේ මහාරෞරව නරකයට පැමිණියේ ය.
ධාන්‍ය ද ධන ද රිදී ද රන් ද තමා සතු යම් කිසි අනෙකෙක් ඇත් නම් එ ද දාසයෝ ද කම්කරුවෝ ද මෙහෙකරුවෝද යන ඔහු අනුව ජීවත්වන යම් කෙනෙක් ඇත් නම් ඔහු ද යන සියල්ල නො ගෙණ යායුතුයි. සියල්ල (මෙහි ම) හැර දමා යන සැහැවි ඇත.
කයින් ද වචනයෙන් ද වැලි සිතින් ද යම් කර්‍මයකුත් කෙරේ ද එය ම ඔහුට තමා සතු වස්තුව වේ. එය ම රැගෙණ පරලොව යෙයි එය ම අත් නො හැර යන සෙවනැල්ල මෙන් ඔහු අනු ව යන්නේ වේ.
එහෙයින් පරලොවට හිතවූ දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වේ.
අපුත්තක වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
ජටිල, පඤ්චරාජ, දෝණපාක, යන සූත්‍ර ද සඞ්ගාම සූත්‍ර දෙක ද ධීතු සූත්‍රය ද අප්පමාද සූත්‍ර දෙක ද අපුත්තක සූත්‍ර දෙකදැයි සූත්‍ර දශයෙකි.
3. කෝශල වර්‍ගය
3. 3. 1.
පුග්ගල සූත්‍රය
132. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ, ලෝකයෙහි මේ පුද්ගලයෝ සිවු දෙනෙක් ඇත. කවර සිවු දෙනෙක? යත්: “අඳුරෙන් අඳුරට යන්නේ ය. අඳුරෙන් එළියට යන්නේ ය. එළියෙන් අඳුරට යන්නේ ය. එළියෙන් එළියට යන්නේ ය”යි.