3. 2. 8.
කල්‍යාණමිත්ත සූත්‍රය
129. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. වහන්ස, මෙහි රහසිගත ව එකලාව හුන් මා සිත්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් වදාරණ ලදී. හෙ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ” යන මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, මා විසින් ධර්‍මය ස්වාක්ඛාත ය. එ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ.
මහරජ, එක් කලෙක මම ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම්ගම්හි වෙසෙමි. මහරජ, එකල අනඳ මහණ තෙමේ මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක හුන්නේ ය. මහරජ, එකත්පසෙක හුන් අනඳ මහණ තෙමේ මට “වහන්ස, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය මගබඹසර පිළිබඳ හරි අඩෙකැ”යි මෙය සැළ කෙළේ ය. මහරජ, එසේ කියන ලද මම අනඳ මහණට මෙය කියමි. ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, යම් මේ කලණ මිතුරන් ඇතිබවෙක් කලණ යහළුවන් ඇතිබවෙක් කලණයන් කෙරෙහි නැමුනුබවෙක් වේ ද, මෙය මුළු මගබඹසර ම ය. ආනන්‍ද, “අරිඅටගිමග වඩන්නේ ය. අරිඅටගිමග බහුල කරන්නේ” ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණහු විසින් කැමති විය යුතු යි.
ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ කෙසේ නම් අරිඅටගිමග වඩා ද? අරිඅටගිමග බහුල කෙරේ ද? යත්: ආනන්‍ද, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක් දෘෂ්ටිය වඩයි … සම්‍යක්සඞ්කල්පය වඩයි … සම්‍යක්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යක් ආජීවය වඩයි … සම්‍යක් ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක්සමාධිය වඩයි. ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ මෙසේ අරිඅටගිමග වඩයි, අරිඅටගිමග බහුල කෙරෙයි.
ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙන් ද දත යුතු යි.
ආනන්‍ද, කල්‍යාණමිත්‍ර වූ මා නිසා ම ඉපදීම ස්වභාව කොට ඇති සත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්. දිරීම ස්වභාව කොට ඇති සත්‍වයෝ දිරීමෙන් මිදෙත්. මරණය ස්වභාව කොට ඇති සත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝකය වැලපීම දුක් දොම්නස් දැඩිආයාස ස්වභාව කොට ඇති සත්‍වයෝ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාසයන්ගෙන් මිදෙත්. ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙනුදු දත යුතු යි.
මහරජ, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. “කලණමිතුරන් ඇත්තෙක් කලණයහළුවන් ඇත්තෙක් කලණයන් කෙරෙහි නැමෙන්නෙක් වන්නෙමි”යි. මහරජ, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. මහරජ, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමුනු තොප විසින් කුශලධර්‍මයන්හි අප්‍රමාදය වූ මේ එක ම ධර්‍මය ඇසුරු කොට විසිය යුතු යි.