3. 1. 9.
යඤ්ඤ සූත්රය
120. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹුහු ද, පන්සියක් නැහැඹියෝද, පන්සියක් එළුවෝ ද, පන්සියක් තිරෙළුවෝ ද යාගය පිණිස ටැඹ ඇරැ බඳනා ලද්දාහු වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත්නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු වැකුනු මුහුණු ඇත්තාහු අඬමින් පිරියම් කෙරෙත්.
ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ. වහන්ස, මෙහි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹු වස්සෝ ද, පන්සියක් නහඹු වැස්සෝ ද, පන්සියක් එළුවෝ ද, පන්සියක් ලදරු මැඬහු ද යාගය පිණිස ටැඹ ඇරැ බඳන ලදුවෝ වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකුනු මුහුණු ඇත්තාහු හඬමින් පිරියම් කෙරෙත්.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක:
අස්සමේධ ය, පුරිසමේධ ය, සම්මාපාස ය, වාජපෙය්ය ය, නිරග්ගල ය යන (කෘත්ය වශයෙන්) මහත් ආරම්භ ඇති ඒ මහායාගයෝ මහත්ඵල නො වෙත්.
යම් යාගයක් නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නසන ලැබෙත් නම් ඒ යාගයට සම්යක්ප්රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු නො පැමිණෙත්.
යම් යාග කෙනෙක් අල්පාරම්හ ඇත්තාහු ද, (එබඳු යාගයන්) කුලයක් පාසා හැම කල්හි කෙරෙත්. මෙහි නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නො නසනු ලැබෙත්.
සම්යක්ප්රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු මේ යාගයට පැමිණෙත්. නුවණැත්තේ තෙල යාගය කරන්නේ ය. තෙල යාගය මහත්ඵල ය.
තෙල යාගය කරන්නහුට වැඩීමෙක් වේ. පිරිහීමෙක් නො වේ. යාගය ද විපුල වේ, දෙවියෝත් පහදිති.
3. 1. 10.
බන්ධන සූත්රය
121. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්.
එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට “වහන්ස, මෙහි පසේනදි කොසොල්රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු ය” යි තෙල සැළ කළහ.
එකල්හි භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක.
යමුවා වූ ද දැවමුවා වූ ද බබුස්තණමුවා වූ ද යම් බන්ධනයෙක් වේ ද, ඒ බන්ධනය දැඩි ය යි ප්රාඥයෝ නො කියත්. මිණිකොඬොල්හි ද දරුවන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද දැඩිඇලුමින් ඇලුනු යම් අපේක්ෂායෙක් වේ ද,
යට (=සිවු අපායට) ඇද ලන ලිහිල් වූ මිදීමට දුෂ්කර වූ මේ බන්ධනය දැඩි ය යි නුවණැත්තෝ කියත්. කාමයන්හි අපේක්ෂා නැත්තාහු මේ බන්ධනය ද සිඳ කම්සුව හැර දමා ගිහිගෙය හැර යෙත්.
බන්ධනවර්ගය පළමුවැනි යි.