3. 1. 10.
බන්‍ධන සූත්‍රය
121. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්.
එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි පසේනදි කොසොල්රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු ය” යි තෙල සැළ කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක.
යමුවා වූ ද දැවමුවා වූ ද බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් වේ ද, ඒ බන්‍ධනය දැඩි ය යි ප්‍රාඥයෝ නො කියත්. මිණිකොඬොල්හි ද දරුවන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද දැඩිඇලුමින් ඇලුනු යම් අපේක්‍ෂායෙක් වේ ද,
යට (=සිවු අපායට) ඇද ලන ලිහිල් වූ මිදීමට දුෂ්කර වූ මේ බන්‍ධනය දැඩි ය යි නුවණැත්තෝ කියත්. කාමයන්හි අපේක්‍ෂා නැත්තාහු මේ බන්‍ධනය ද සිඳ කම්සුව හැර දමා ගිහිගෙය හැර යෙත්.
බන්ධනවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
දහර, පුරිස, රාජ, පිය, අත්තරක්ඛිත, අප්පකා, අත්‍ථකරණ, මල්ලිකා, යඤ්ඤ, බන්‍ධන ය යි සූත්‍ර දශයෙකි.
2. අපුත්තක වර්‍ගය
3. 2. 1.
සත්තජටිල සූත්‍රය
122. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පුවරම් නම් මුවරමා පහයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක් බිහිදොරකොටුවෙහි වැඩහුන් සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
එකල්හි වැඩුනු කැසනියලොම් ඇති ජටිලයෝ සත් දෙනෙක් ද, නිගණ්ඨයෝ සත් දෙනෙක් ද, අචේලකයෝ සත් දෙනෙක් ද, ඒකසාටකයෝ සත් දෙනෙක් ද, පරිව්‍රාජකයෝ සත් දෙනෙක් ද නන් තවුස්පිරිකර ගෙණ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි (එ පෙදෙස) ගෙවා යෙති. ඉක්බිති පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද, අචේලකයන් සත්දෙන ද, ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද වෙත ඇඳිලි බැඳ “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි. … වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි”යි තෙවරක් නම ඇස්වී ය.
ඉක්බිති ඒ ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද අචේලකයන් සත්දෙන ද ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද ගිය නොබෝ වෙලෙහි පසේනදි කොසොල්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොව යම් ඒ කෙනෙක් රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, තුලුහු ඔවුනතරැ එක්තරා කෙනෙකැ”යි තෙල සැළ කෙළේ ය.
මහරජ, ගිහි වූ කම්සැප විඳින දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳු සඳුන් ගල්වන මල්ගඳවිලෙවුන් දරණ රන්රිදී ඉවසන තොප විසින් ‘මොහු රහත්හු ය කියා හෝ මොහු රහත්මගට පිළිපන්නෝ ය යි’ කියා හෝ තෙල නොදත හැකි ය.