3. 1. 8.
මල්ලිකා සූත්‍රය
119. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකාදේවිය සමග උතුම් පහයෙහි මතුමහලට ගියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ මල්ලිකා දේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල කී ය.
මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්ද? මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට ද නැත.
ඉක්බිති පසේනදි කොසොල්රජ පහයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි මම මල්ලිකාදේවිය සමග උතුම් පහාතලමත අරා සිටියෙම් මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ”යි තෙල කීමි. වහන්ස, මෙසේ කී කල්හි මල්ලිකා දේවිය මට “මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල බස් කිවු ය. වහන්ස, මෙසේ කියන ලද මම මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතැ”යි තෙල කීයෙමි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
සියලු දිගුන් සිතින් අනුගමනය කොට තමහට වඩා ඉතා ප්‍රිය වූවකු කිසි තැනෙක නො ම ලදිමි. මෙසේ අන් බොහෝ දෙනාට ද තෙමේ ප්‍රිය ය. එහෙයින් තමහට වැඩ කැමැත්තේ මෙරමා නො පෙළන්නේ ය.
3. 1. 9.
යඤ්ඤ සූත්‍රය
120. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹුහු ද, පන්සියක් නැහැඹියෝද, පන්සියක් එළුවෝ ද, පන්සියක් තිරෙළුවෝ ද යාගය පිණිස ටැඹ ඇරැ බඳනා ලද්දාහු වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත්නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු වැකුනු මුහුණු ඇත්තාහු අඬමින් පිරියම් කෙරෙත්.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. වහන්ස, මෙහි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹු වස්සෝ ද, පන්සියක් නහඹු වැස්සෝ ද, පන්සියක් එළුවෝ ද, පන්සියක් ලදරු මැඬහු ද යාගය පිණිස ටැඹ ඇරැ බඳන ලදුවෝ වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකුනු මුහුණු ඇත්තාහු හඬමින් පිරියම් කෙරෙත්.