2. 2. 7.
සුබ්රහ්ම සූත්රය
98. සැවැත්නුවර–
එකත්පසෙක සිටි සුබ්රහ්ම දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
නූපන් දුක් නිමිති කොට ද, යලිත්, ඉපදුන දුක් නිමිති කොට ද, මේ සිත නිතර තැති ගත්තේ ය. මේ සිත නිතර බියෙන් සැලුණේ ය. මා විසින් විචාරණ ලද්දෙහි. ඉදින් නොතැති ගත් සිතක් ඇත්නම් එය වදාරණු මැනව.
[භගවත්හු:]
බෝධ්යඞ්ග භාවනාව හැර තපෝගුණය හැර ඉන්ද්රියසංවරය හැර නිවන් හැර සත්ත්වයන්ට සුවයක් නො දකිමි.
2. 2. 8.
කකුධ සූත්රය
99. සැවැත්නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති කකුධ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අඳුන්වනය බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි කකුධ දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
ශ්රමණයන් වහන්ස, සතුටු වහු ද? ඇවැත්නි, කුමක් ලැබ ද? එසේ නම් ශ්රමණයන් වහන්ස, ශෝක කරහු ද? ඇවැත්නි, කුමක් දිරා ගියේ ද? ශ්රමණයන් වහන්ස, එසේ නම් නො ම සතුටු වහු ද? නො ම ශෝක කරහු ද? ඇවැත්නි, එසේ ය.
ශ්රමණයන් වහන්ස, කිම, මුබවහන්සේ නිදුක් ද? කිම, ඇල්මෙක් නැද්ද? කිම, අරතිය හුදකලා ව හුන් මුබවහන්සේ නො මඩී ද?
[භගවත්හු:]
යක්ෂය, ඒකාන්තයෙන් මම නිදුක් වෙමි. ඇල්මෙකුත් නැත. තව ද, අරතිය එකලා ව හුන් මා නො මඩියි.
[දෙව්පුත්:]
ශ්රමණයන් වහන්ස, මුබවහන්සේ කෙසේ නිදුක් සේක ද? ඇල්මෙක් කෙසේ නො වේ ද? අරතිය එකලා ව හුන් මුබවහන්සේ කෙසේ නො මඩී ද?
[භගවත්හු:]
හටගත් දුක් (වටදුක්) ඇත්තහුට ඒකාන්තයෙන් ඇල්ම වේ. හටගත් ඇල්ම ඇත්තහුට ඒකාන්තයෙන් දුක වේ. ඇවැත්නි, මහණ තෙමේ ඇලුම් නැත්තේ ය, දුක් නැත්තේ ය යි මෙසේ දනුව.
[දෙව්පුත්:]
ලොව තෘෂ්ණාව තරණය කළ ඇලුම් නැති දුක් නැති පිරිනිවි බාහිතපාපී වූ මහණකු ඒකාන්තයෙන් කලෙකින් දකිමි.
2. 2. 9.
උත්තර සූත්රය
100. රජගහනුවර –
එකත්පසෙක සිටි උත්තර දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ජීවිතය (මරණය කරා) පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථානයක් නැත. මේ (ත්රිවිධ) බිය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
[භගවත්හු:]
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් (මරණය කරා) පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථානයක් නැත. මේ (ත්රිවිධ) බිය මරණයෙහි ලා දක්නා වූ නිවණ පතන පුද්ගල තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේ ය.
2. 2. 10.
අනාථපිණ්ඩික සූත්රය
101. සැවැත්නුවර–
එකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
භික්ෂුසමුහයා විසින් නිති සෙවුනාලද ධර්මරාජන්වූ බුදුරජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්රසිද්ධ ජේතවනය මට ප්රීති උපදවන්නේ ම ය.
කර්මය ද විද්යාව ද ධර්මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්ෂිකධර්ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්ය්යමාර්ගය හේතු කොට පිරිසිදු වෙයි.