2. 2. 4.
නන්දන සූත්රය
95. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්දන දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පතුළ නුවණැති ගෞතමයන් වහන්ස, මුබවහන්සේ විචාරමි. භාග්යවතුන් වහන්සේගේ ඥානදර්ශනය ආවරණරහිත ය. කෙබන්දහු ‘සිල්වතැ’ යි කියද්ද? කෙබන්දහු නුවණැති යැ යි කියද්ද? කෙබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණය කෙරේ ද? කෙබන්දහු දෙවියෝ පුදද්ද?
[භගවත්හු:]
යමෙක් සිල්වත් ද, නුවණැත්තේ ද, වඩන ලද සිත් ඇත්තේ ද, සමාහිත වේ ද, ධ්යානයෙහි ඇලුනේ ද, සිහි ඇත්තේ ද, ඔහුගේ සියලු ශෝකයෝ පහ වූවාහු ද, ප්රහීණ වූවාහු ද, ක්ෂීණ වූ කෙලෙස් ඇත්තේ ද, අන්තිම සිරුර දරණ සුලු වේ ද,
එබන්දහු සිල්වතැ යි කියත්. එබන්දහු නුවණැතියැ යි කියත්. එබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණ කෙරේ. එබන්දහු දෙවියෝ පුදති.
2. 2. 5.
චන්දන සූත්රය
96. සැවැත්නුවර–
එකත්පසෙක සිටි චන්දන දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මෙහි කවරෙක් රෑදෙවෙහි අනලස් ව චතුරෝඝය තරණය කෙරේ ද? කවරෙක් (යට) පිහිටක් නැති (මතුයෙහි) එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ ද?
[භගවත්හු:]
හැම කල්හි සිල්වත් වූ, නුවණැති, එකඟසිත් ඇති, ඇරඹු වෙර ඇති, නිවන පිණිස මෙහෙයූ සිත් ඇති පුඟුල් තෙමේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
කාමසංඥායෙන් වැළකුණු රූපසංයෝජන ඉක්ම ගිය ක්ෂීණ වූ නන්දිරාගය ඇති හෙ තෙම් ගැඹුරෙහි නො ගිලේ.
2. 2. 6.
වසුදත්ත සූත්රය
97. සැවැත්නුවර–
එකත්පසෙක සිටි වසුදත්ත දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
[භගවත්හු:]
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ සක්කායදෘෂ්ටි ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
2. 2. 7.
සුබ්රහ්ම සූත්රය
98. සැවැත්නුවර–
එකත්පසෙක සිටි සුබ්රහ්ම දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
නූපන් දුක් නිමිති කොට ද, යලිත්, ඉපදුන දුක් නිමිති කොට ද, මේ සිත නිතර තැති ගත්තේ ය. මේ සිත නිතර බියෙන් සැලුණේ ය. මා විසින් විචාරණ ලද්දෙහි. ඉදින් නොතැති ගත් සිතක් ඇත්නම් එය වදාරණු මැනව.
[භගවත්හු:]
බෝධ්යඞ්ග භාවනාව හැර තපෝගුණය හැර ඉන්ද්රියසංවරය හැර නිවන් හැර සත්ත්වයන්ට සුවයක් නො දකිමි.
2. 2. 8.
කකුධ සූත්රය
99. සැවැත්නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති කකුධ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අඳුන්වනය බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි කකුධ දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
ශ්රමණයන් වහන්ස, සතුටු වහු ද? ඇවැත්නි, කුමක් ලැබ ද? එසේ නම් ශ්රමණයන් වහන්ස, ශෝක කරහු ද? ඇවැත්නි, කුමක් දිරා ගියේ ද? ශ්රමණයන් වහන්ස, එසේ නම් නො ම සතුටු වහු ද? නො ම ශෝක කරහු ද? ඇවැත්නි, එසේ ය.
ශ්රමණයන් වහන්ස, කිම, මුබවහන්සේ නිදුක් ද? කිම, ඇල්මෙක් නැද්ද? කිම, අරතිය හුදකලා ව හුන් මුබවහන්සේ නො මඩී ද?
[භගවත්හු:]
යක්ෂය, ඒකාන්තයෙන් මම නිදුක් වෙමි. ඇල්මෙකුත් නැත. තව ද, අරතිය එකලා ව හුන් මා නො මඩියි.