2. 1. 9.
චන්‍දිම සූත්‍රය
90. සැවැත්නුවර–
එකල්හි සඳ දෙව්පුත් තෙමේ රාහු ඇසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි සඳ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනේ වෙහි (මම) පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳුහට ගාථායෙන් වදාළ සේක.
“සඳ දෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. එම්බා රාහු අසුරය, සඳ මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”
ඉක්බිති රාහුඅසුරිඳු තෙමේ සඳදෙව්පුත් මුදා වෙළෙවිසැහැවි ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහ ගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහු අසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ මේ ගාථායෙන් කී ය.
එම්බා රාහුඅසුරය, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියෙකු මෙන් සඳ මිදුවෙ හි ද? සංවේගස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බියවූවකු මෙන් සිටිහි ද?
බුද්ධගාථායෙන් අභිගීතයෙමි. ඉදින් සඳ නොමිදුයෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සැප නො ලබන්නෙමි.
2. 1. 10.
සුරිය සූත්‍රය
91. සැවැත්නුවර–
එකල්හි හිරුදෙව්පුත් තෙමේ රාහුඅසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි හිරුදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.
බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනෙහි. මම පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හිරු දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.
එම්බා රාහුඅසුරය, හිරුදෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. හිරු දෙව්පුතු මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.
එම්බා රාහුඅසුරය, යමෙක් ගනඳුරෙහි එළිය කරන්නේ ද, බබලන්නේ ද, මඬුලු සටහන් ඇත්තේ ද, උග්‍රතේජස් ඇත්තේ ද, අහසෙහි හැසිරෙණ එබඳු හිරු නො ගිලුව. එම්බා රාහුඅසුරය, මා දහම්පුත් හිරු මුදව.
ඉක්බිති රාහු අසුරිඳු තෙමේ හිරු දෙව්පුත් මුදා වෙළෙවිසැහැවී ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහුඅසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ ගාථායෙන් කී ය.
එම්බා රාහු, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියකු මෙන් හිරු මිදුවෙහි ද? සංවේග ස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බිය වූවකු මෙන් සිටිහි ද?
බුද්ධගාථායෙන් අභිගීත (සංධායභාෂිත වශයෙන් වෙසෙසින් ගයන ලදුයෙම්) වෙමි. ඉදින් හිරු නො මිදුවෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සුව නො ලබන්නෙමි.
සුරිය වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කස්සපසුත්‍ර දෙකය, මාඝ, මාගධ, දාමලි, කාමද, පඤ්චාලචණ්ඩ, තායන, චන්‍දිම, සුරිය යි සූත්‍ර දශයෙකි.