2. 1. 10.
සුරිය සූත්රය
91. සැවැත්නුවර–
එකල්හි හිරුදෙව්පුත් තෙමේ රාහුඅසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි හිරුදෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.
බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනෙහි. මම පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
එකල්හි භාග්යවතුන් වහන්සේ හිරු දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.
එම්බා රාහුඅසුරය, හිරුදෙව්පුත් තෙමේ අර්හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. හිරු දෙව්පුතු මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.
එම්බා රාහුඅසුරය, යමෙක් ගනඳුරෙහි එළිය කරන්නේ ද, බබලන්නේ ද, මඬුලු සටහන් ඇත්තේ ද, උග්රතේජස් ඇත්තේ ද, අහසෙහි හැසිරෙණ එබඳු හිරු නො ගිලුව. එම්බා රාහුඅසුරය, මා දහම්පුත් හිරු මුදව.
ඉක්බිති රාහු අසුරිඳු තෙමේ හිරු දෙව්පුත් මුදා වෙළෙවිසැහැවී ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහුඅසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ ගාථායෙන් කී ය.
එම්බා රාහු, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියකු මෙන් හිරු මිදුවෙහි ද? සංවේග ස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බිය වූවකු මෙන් සිටිහි ද?
බුද්ධගාථායෙන් අභිගීත (සංධායභාෂිත වශයෙන් වෙසෙසින් ගයන ලදුයෙම්) වෙමි. ඉදින් හිරු නො මිදුවෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සුව නො ලබන්නෙමි.
සුරිය වර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කස්සපසුත්ර දෙකය, මාඝ, මාගධ, දාමලි, කාමද, පඤ්චාලචණ්ඩ, තායන, චන්දිම, සුරිය යි සූත්ර දශයෙකි.
2. අනාථපිණ්ඩික වර්ගය
2. 2. 1.
චන්දිමස සූත්රය
92. සැවැත්නුවර–
එකල්හි චන්දිමස දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්ණ ඇත්තේ, මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චන්දිමස දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
ධ්යානයන්ට පැමිණීමෙන් එකඟසිත් ඇති වූ තීරණප්රඥා ඇති සිහි ඇති ඔහු මදුරුවන් නැති කැසෙක මුවන් මෙන් සෙතට පැමිණෙන්නාහු ම ය.
[භගවත්හු:]
ධ්යානයන් ලැබ නො පමාවන කෙලෙස් දුරලන ඔහු දැල සිඳ යන මස්කැල මෙන් පරතෙරට (නිවණට) පැමිණෙන්නාහු ම ය.
2. 2. 2.
වෙණ්හු සූත්රය
93. සැවැත්නුවර:-
එකත්පසෙක සිටි වෙණ්හු දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
(යම්) මිනිස් කෙනෙක් බුදුරජානන් වහන්සේ පර්ය්යුපාසාන කොට ගොයුම්සස්නෙහි යෙදෙන්නාහු නො පමාව හික්මෙත් ද, ඔහු ඒකාන්තයෙන් සුවපත් වූවෝ ය.
භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: එම්බා වෙණ්හු දේවපුත්රය, ධ්යාන කරණ යම් කෙනෙක් මා විසින් ප්රකාශ කරණ ලද අනුශාසනපදයෙහි සුදුසු කල්හි නොපමාවෙමින් හික්මෙද් ද, ඔහු මරුවසඟ වූවෝ නොවන්නාහ යි.
2. 2. 3.
දීඝලට්ඨි සූත්රය
94. සැවැත්නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
දීඝලට්ඨි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනාඡවිවර්ණ ඇත්තේ, මුළු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
මහණ තෙමේ ඉදින් හෘදයානුප්රාප්තිය (අභීත්ත්වය) කැමති වන්නේ නම් ලොව පිළිබඳ උදයව්යය දැන ධ්යාන වඩන්නෙක්, මිදුනු සිතැත්තෙක්, (එසෙයින් ම) මනාසිතැත්තෙක්, (තෘෂ්ණාදෘෂ්ටීන්) අනිඃශ්රිතයෙක්, ඒ අභීත්ත්වය අනුසස් කොට ඇත්තෙක් වන්නේ ය.