2. 1. 8.
තායන සූත්‍රය
89. සැවැත්නුවර–
එකල්හි පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි තායන දේවපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
බමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් පුහුන් නො කොට ධ්‍යානයට නො පැමිණේ.
ඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළාහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
යම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින්ම) වරදවා ගන්න ලද මහණකම නිරයට අදියි.
යම්සේ ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය අවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි තායන දෙව්පුත් තෙමේ මා සමියයෙහි මේ ගාථා කී ය:
බමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් ප්‍රහීණ නො කොට ධ්‍යානයට නො පැමිණේ.
ඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
යම්සේ කුසතණපත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින් ම) වරදවා ගන්නා ලද මහණකම නිරයට අදියි.
යම්සේ කිසි ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වීය.
මහණෙනි, තායන ගාථා උගණිවු, මහණෙනි, තායන ගාථා පිරිවහවු. මහණෙනි, තායන ගාථා දරවු. මහණෙනි, තායන ගාථා අර්‍ත්‍ථසහිතයහ. මගබඹසරට මුල්වූවෝ ය.
2. 1. 9.
චන්‍දිම සූත්‍රය
90. සැවැත්නුවර–
එකල්හි සඳ දෙව්පුත් තෙමේ රාහු ඇසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි සඳ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනේ වෙහි (මම) පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳුහට ගාථායෙන් වදාළ සේක.
“සඳ දෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. එම්බා රාහු අසුරය, සඳ මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”