2. 1. 5.
දාමලි සූත්‍රය
86. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති දාමලි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි දාමලිදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කී ය:
නොමැලි වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා විසින් මේ වීර්‍ය්‍යය කටයුතු ය. වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ ඒ විශේෂ ප්‍රහාණිය හේතු කොට ගෙණ කිසි භවයක් නො පතයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. දාමලි දේවපුත්‍රය, (බාහිත පාපී) බ්‍රාහ්මණයාට කිසෙක් නැත. ඒ බමුණු තෙමේ කළ කිස ඇත්තේ ම ය. සත්ත්‍ව තෙමේ ගඞ්ගාවන්හි යම්තාක් පිහිටක් නො ලබා ද? (ඒතාක්) සියලු අවයවවලින් වෑයම් කෙරෙයි. හෙ තෙමේ පිහිටක් ලැබ ගොඩ සිටියේ යම් හෙයකින් පරතෙරට ගියේ ද, (එහෙයින්) හෙ තෙමේ වෑයම් නො කෙරෙයි.
දාමලි, ධ්‍යාන කරණසුලු ප්‍රඥා ඇති ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාට මේ උපමායෙකි. හෙ තෙමේ ජාතිමරණ දෙක්හි කෙළවරට පැමිණ පරතෙරට ගියේ ම වෑයම් නො කෙරෙයි.
2. 1. 6.
කාමද සූත්‍රය
87. සැවැත්නුවර–
එකත්පසෙක සිටි කාමද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, (මහණදම් පිරීම) දුෂ්කර ය. භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
කාමද, ශීලයෙන් යුත් ස්ථිරස්වභාව ඇති ශෛක්‍ෂයෝ දුෂ්කර වූත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන්බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.
භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සතුටෙක් වේ ද, (එය) දුලබ ය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) යම් කෙනෙකුන්ගේ සිත දහවලුත් රෑත් භාවනායෙහි අලුනේ ද, සිත සංහිඳුවීමෙහි ඇලුනු (ඔහු) දුලබ වූත් සතුට ලබත්.
භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සිතෙක් වේ ද, එය එකඟ කිරීම දුෂ්කර ය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) ඉඳුරන් දමනය කිරීමෙහි ඇලුනෝ එකඟ කිරීම දුෂ්කර වූත් සිත එකඟ කෙරෙත්. කාමදය, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ දැල සිඳ ගෙන යෙත්.
භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය විෂම ය, ගමන දුෂ්කර ය.
[භගවත්හු:]
කාමදය, ආර්‍ය්‍යයෝ දුගීම වූත් විෂම වූත් මාර්‍ගයෙහි යෙත්. අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි යටිකුරු වූ (නුවණ) හිස් ඇත්තාහු වැටෙත්. ආර්‍ය්‍යයන්ට මාර්‍ගය සම ය. ආර්‍ය්‍යයෝ විෂම සත්‍වසමූහයා අතරෙහි සම වෙත් ම ය.