2. 1. 6.
කාමද සූත්රය
87. සැවැත්නුවර–
එකත්පසෙක සිටි කාමද දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්යවතුන් වහන්ස, (මහණදම් පිරීම) දුෂ්කර ය. භාග්යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය.
භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
කාමද, ශීලයෙන් යුත් ස්ථිරස්වභාව ඇති ශෛක්ෂයෝ දුෂ්කර වූත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන්බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.
කාමද, ශීලයෙන් යුත් ස්ථිරස්වභාව ඇති ශෛක්ෂයෝ දුෂ්කර වූත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන්බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.
භාග්යවතුන් වහන්ස, යම් ඒ සතුටෙක් වේ ද, (එය) දුලබ ය.
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) යම් කෙනෙකුන්ගේ සිත දහවලුත් රෑත් භාවනායෙහි අලුනේ ද, සිත සංහිඳුවීමෙහි ඇලුනු (ඔහු) දුලබ වූත් සතුට ලබත්.
භාග්යවතුන් වහන්ස, යම් ඒ සිතෙක් වේ ද, එය එකඟ කිරීම දුෂ්කර ය.
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) ඉඳුරන් දමනය කිරීමෙහි ඇලුනෝ එකඟ කිරීම දුෂ්කර වූත් සිත එකඟ කෙරෙත්. කාමදය, ඒ ආර්ය්යයෝ මරහුගේ දැල සිඳ ගෙන යෙත්.
භාග්යවතුන් වහන්ස, මාර්ගය විෂම ය, ගමන දුෂ්කර ය.
[භගවත්හු:]
කාමදය, ආර්ය්යයෝ දුගීම වූත් විෂම වූත් මාර්ගයෙහි යෙත්. අනාර්ය්යයෝ විෂම මාර්ගයෙහි යටිකුරු වූ (නුවණ) හිස් ඇත්තාහු වැටෙත්. ආර්ය්යයන්ට මාර්ගය සම ය. ආර්ය්යයෝ විෂම සත්වසමූහයා අතරෙහි සම වෙත් ම ය.
2. 1. 7.
පඤ්චාලචණ්ඩ සූත්රය
88. සැවැත් නුවර –
එකත්පසෙක සිටි පඤ්චාලචණ්ඩ දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
මානය දුරු කළවුන්ට ශ්රේෂ්ඨ වූ යම් මුනිවරයෙක් ධ්යාන අවබෝධ කළේ ද, මහත් ප්රඥා ඇති ඒ බුදුරජ තෙමේ (නීවරණ) සම්බාධයෙහි ඒකාන්තයෙන් (ධ්යාන සඞ්ඛ්යාත) අවකාශය ලැබී ය.
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පඤ්චාලචණ්ඩය,) යම් කෙනෙක් නිවණට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද, ඔහු සම්බාධ ඇති කල්හි දු ධ්යාන ලබත්. ඔහු මනා කොට සමාහිත වූවෝ ය.
2. 1. 8.
තායන සූත්රය
89. සැවැත්නුවර–
එකල්හි පැරණි තීර්ත්ථකරයකු වූ මනා ඡවිවර්ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි තායන දේවපුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
බමුණ, වීර්ය්යය කොට (තෘෂ්ණා) ශ්රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් පුහුන් නො කොට ධ්යානයට නො පැමිණේ.
ඉදින් කරන්නේ නම් මේ (වීර්ය්යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළාහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
යම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින්ම) වරදවා ගන්න ලද මහණකම නිරයට අදියි.
යම්සේ ලිහිල් කර්මයක් වේද, සකිලිටි වූ යම් ව්රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.