11. 3. 3.
මායා සූත්‍රය
269. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. වෙපචිති අසිරිඳු (ඉසිගණයාගේ සාපයෙන්) හටගත් ආබාධ ඇත්තේ දුකට පත්වූයේ දැඩිසේ ගිලන් වූයේ විය. මහණෙනි, ඉක්බිති, සක්දෙවිඳු තෙමේ ගිලන්සේ විමසන්නක් ව වේපචිත්ති අසුරිඳු වේත එළඹියේ ය.
මහණෙනි, වේපචිත්ති අසුරිඳු එන්නා වූ සක්දෙවිඳු දුර දී ම දැක්කේ ය. දැක සක් දෙවිඳුට ‘දේවේන්‍ද්‍රය, මට පිළියම් කරව’යි මෙය කී ය.
‘වේපචිත්ති, මා සම්බරීමායාව හදාරවාලව’යි (සක්දෙව් කී ය.) නිදුකානෙනි, මම අසුරයන් පුළුවුස්නා තෙක් නො හදාරව’යි වේපචිත්ති කී ය.
ඉක්බිති වේපචිත්ති අසුරිඳු “පින්වත්නි, මම සක්දෙවිඳු සම්බරීමායාව හදාරවම් දැ යි අසුරයන් පිළිවිසී ය. නිදුකානෙනි, තෙපි සක් දෙවිඳු සම්බරීමායාව නො ම හදාරවාලවු.”
මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
“මඝ යන නම් ඇත්තව, ශ්‍රක්‍රය, දේවේන්‍ද්‍රය, සුජාවගේ හිමිය, මායා ඇති පුද්ගල තෙමේ සම්බර නම් අසුරයා මෙන් සියවසක් පැසෙන දරුණු නිරයට පැමිණෙයි.”
11. 3. 4.
අච්චය සූත්‍රය
270. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. එකල්හි ඒ මහණ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ එය නො පිළිගණී.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මහණහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. වහන්ස, එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ තෙමේ එය නො පිළිගණී.
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් නො දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්‍මය නො පිළිගණී ද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ යි. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්‍මය පිළිගණී ද; මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ යි.
මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙව්රජ සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය.
ක්‍රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්‍රධර්‍මයෙහි දිරීමෙක් නො වේවා. නොගැරහියයුතු (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයාට නො ගරහව. කේලාම් නො ද කියව. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා අතිශයින් මඬී.
11. 3. 5.
අක්කෝධ සූත්‍රය
271. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. … - …
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු සුදම්සෙබෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
ක්‍රෝධය තෙමේ තොප නහමක් මඩීවා! කිපෙන්නවුන්ට නො ද කිපෙව. ක්‍රෝධ නො කිරීම ද අවිහිංසාව ද හැම කල්හි ආර්‍ය්‍යයන් කෙරෙහි පවතී. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා වෙසෙසින් මඩියි.
සක්ක පඤ්චක යයි.