11. 3. 4.
අච්චය සූත්රය
270. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්ෂූහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. එකල්හි ඒ මහණ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ එය නො පිළිගණී.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මහණහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. වහන්ස, එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ තෙමේ එය නො පිළිගණී.
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් නො දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්මය නො පිළිගණී ද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ යි. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්මය පිළිගණී ද; මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ යි.
මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙව්රජ සුධර්මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය.
ක්රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්රධර්මයෙහි දිරීමෙක් නො වේවා. නොගැරහියයුතු (ක්ෂීණාස්රව) පුද්ගලයාට නො ගරහව. කේලාම් නො ද කියව. වැලි ක්රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා අතිශයින් මඬී.
11. 3. 5.
අක්කෝධ සූත්රය
271. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්ෂූහු දෙදෙනෙක් කලහ කළහ. … - …
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු සුදම්සෙබෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
ක්රෝධය තෙමේ තොප නහමක් මඩීවා! කිපෙන්නවුන්ට නො ද කිපෙව. ක්රෝධ නො කිරීම ද අවිහිංසාව ද හැම කල්හි ආර්ය්යයන් කෙරෙහි පවතී. වැලි ක්රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා වෙසෙසින් මඩියි.
සක්ක පඤ්චක යයි.
එහි උද්දානය:
ඣත්වා, දුබ්බණ්ණිය, මායා, අච්චය, අක්කෝධන යයි මේ සක්කපඤ්චකය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
සක්ක සංයුත්තය සමාප්ත යි.
(සංයුත්තනාමාවලිය:)
දේවතා, දේවපුත්ත, (කෝසල) රාජ, මාර, භික්ඛුනී, බ්රහ්ම, බ්රාහ්මණ, වඞ්ගීස, වන, යක්ඛ, වාසව (- සක්ක) යි සංයුත්ත එකොළොසෙකි.
දේවතා, දේවපුත්ත, (කෝසල) රාජ, මාර, භික්ඛුනී, බ්රහ්ම, බ්රාහ්මණ, වඞ්ගීස, වන, යක්ඛ, වාසව (- සක්ක) යි සංයුත්ත එකොළොසෙකි.
සගාථවර්ගය නිමියේ ය.