11. 3. 2.
දුබ්බණ්ණිය සූත්‍රය
268. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් සක්දෙවිඳුගේ අසුන්හි හුන්නේ විය. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක් දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්. මහණෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියද්ද, අවමන් කෙරෙද්ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා විශිෂ්ට රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වෙයි.
මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සක්දෙවිඳු වෙත එළඹියහ. එළඹ සක්දෙවිඳුහට මෙය සැළ කළහ. නිදුකානෙනි, මෙහි දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් මුබගේ අස්නෙහි හුන්නේ ය. නිදුකානෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක්දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්. දොස් කියත්. අගුණ පතුරුවත්. නිදුකානෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දෙකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියත් ද, නුගුණ පතුරුවත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා මනහර රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වේ ම ය. පින්වත්නි, හෙ තෙමේ ඒකාන්තයෙන් ක්‍රෝධය බුදින යක්‍ෂයෙක් වන්නේ ය”යි.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු ඒ කෝධභක්ඛ යකු වෙත එළඹියේ ය. එළඹ උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ඒ කෝධභක්ඛ යකු වෙත ඇඳිලි බැඳ “නිදුකානෙනි, මම සක් දෙවිඳුමි. නිදුකානෙනි, මම සක් දෙවිඳුමි”යි තෙවරක් නම ඇස්වී ය.
මහණෙනි, සක්දෙවිඳු යම් යම් පරිද්දෙන් නම අස්වා ද, ඒ යක්‍ෂ තෙමේ ඒ ඒ පරිද්දෙන් අතිශයින් දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වූයේ ය ඉතා දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වී එහි ම අතුරුදන් විය.
මහණෙනි, එකල්හි සක්දෙවිඳු සිය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
නො ඝැටුනු සිත් ඇත්තෙම් වෙමි. කෝවැටුමෙන් සුවසේ ගෙණ ඉය නො හෙමි. මම බොහෝ කලක් නො කිපෙමි. මා කෙරෙහි ක්‍රෝධය නො පිහිටයි.
මම කිපියෙම් රළුබස් නො බෙණෙමි. දැහැමිබස් පවසමි. ආත්මාර්‍ත්‍ථය දකිමින් අතිශයින් තමා නිගනිමි.
11. 3. 3.
මායා සූත්‍රය
269. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. වෙපචිති අසිරිඳු (ඉසිගණයාගේ සාපයෙන්) හටගත් ආබාධ ඇත්තේ දුකට පත්වූයේ දැඩිසේ ගිලන් වූයේ විය. මහණෙනි, ඉක්බිති, සක්දෙවිඳු තෙමේ ගිලන්සේ විමසන්නක් ව වේපචිත්ති අසුරිඳු වේත එළඹියේ ය.
මහණෙනි, වේපචිත්ති අසුරිඳු එන්නා වූ සක්දෙවිඳු දුර දී ම දැක්කේ ය. දැක සක් දෙවිඳුට ‘දේවේන්‍ද්‍රය, මට පිළියම් කරව’යි මෙය කී ය.
‘වේපචිත්ති, මා සම්බරීමායාව හදාරවාලව’යි (සක්දෙව් කී ය.) නිදුකානෙනි, මම අසුරයන් පුළුවුස්නා තෙක් නො හදාරව’යි වේපචිත්ති කී ය.
ඉක්බිති වේපචිත්ති අසුරිඳු “පින්වත්නි, මම සක්දෙවිඳු සම්බරීමායාව හදාරවම් දැ යි අසුරයන් පිළිවිසී ය. නිදුකානෙනි, තෙපි සක් දෙවිඳු සම්බරීමායාව නො ම හදාරවාලවු.”
මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
“මඝ යන නම් ඇත්තව, ශ්‍රක්‍රය, දේවේන්‍ද්‍රය, සුජාවගේ හිමිය, මායා ඇති පුද්ගල තෙමේ සම්බර නම් අසුරයා මෙන් සියවසක් පැසෙන දරුණු නිරයට පැමිණෙයි.”