10. 1. 6.
පියඞ්කර සූත්‍රය
240. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ අලුයම් වේලෙහි නැඟිට දහම්පද බෙණෙති. ඉක්බිති පියඞ්කරමව වූ යකින්න කුඩාපුතු මෙසේ නැළවූවා ය.
පියඞ්කර, ශබ්ද නොකර, මහණ තෙමේ දහම්පද බෙණෙයි. ඉදින් දහම්පදයක් දැන පිළිපදිමු නම් (එය) අපට හිත පිණිස වන්නේ ය.
ප්‍රාණීන් කෙරෙහි සංයත වමු. දැන දැන මුසාබස් නො බෙණෙමු. තමන්ගේ පවිත්‍ර ශීලයෙහි හික්මෙමු. (එසේ කල්හි) යෙහෙක, පිසාචයෝනියෙන් මිදෙන්නමෝ වමු.
10. 1. 7.
පුනබ්බසු සූත්‍රය
241. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථාවෙන් භික්‍ෂූන්ට (කරුණු) දක්වා වදාරණ සේක. (කරුණු) ගන්වන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මොනොවට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.
ඉක්බිති පුනබ්බසුමවු යැකිනි කුඩාපුතුන් මෙසේ නැළවූ:
බුද්ධශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය මම යම්තාක් අසන්නෙම් ද, උත්තරිකාවෙනි, ඒතාක් නිශ්ශබ්ද වව. පුනබ්බසුව, නිශ්ශබ්ද වව.
භාග්‍යවතුන් වහන්සේ හැම ගැටෙන මිදීම නම් වූ නිවණ වදාරණ සේක. මේ දහම්හි මාගේ පැතීම ප්‍රමාණාතික්‍රාන්ත වෙයි.
ලොව්හි සියපුත් තෙමේ ප්‍රිය වෙයි. ලොව්හි සිය හිමි තෙමේ ද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ඉතා ප්‍රිය වෙයි.
සදහම් ඇසීම යම් සේ සත්‍වයා දුකින් මුදා ද, ප්‍රියපුත්‍රයා ද ප්‍රියහිමියා ද (එසේ) දුකින් නො ම මුදයි.
දුකින් පීඩිත වූ ජරාමරණයෙන් යුක්ත වූ ලොව්හි ජරාමරණයෙන් මිදීම පිණිස යම් ධර්‍මයක් අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය අසන්නට කැමැත්තෙමි. එම්බා පුනබ්බසු, නිශ්ශබ්ද වව.
[පුනබ්බසු:]
මෑණියෙනි, (මම) නිහඬ වෙමි. මේ උත්තරාව ද නිහඬ ය. දහම ම අසනු මැනවි. සදහම් ඇසීම සුව ය.
මෑණියෙනි, සදහම නො දැන්මෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසැස් ඇති පැසුලු අත්බැව් දරණ මේ බුදුරජානන් වහන්සේ අතිශයින් මුළා වූ දෙවිමිනිසුන්ට දහම් දෙසන සේක.
[පුනබ්බසුමවු:]
උපන්නා වූ උරහොවින පුත් තෙමේ පණ්ඩිත වූයේ ම මැනවි. මාගේ පුත් තෙමේ ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේගේ පිරිසිදු දහම පතයි.
එම්බා පුනබ්බසු, සුවපත් වව. මම අද (සසරින්) ගොඩ නගුනෙම් වෙමි. ආර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. මාගේ උත්තරාව ද අසාවා.
10. 1. 8.
සුදත්ත සූත්‍රය
242. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ශීතවනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියේ වෙයි. අනාථපිණ්ඩික ගැහැවි තෙමේ බුදුරජානන් වහන්සේ ලෝපහළ වූ සේකැයි ඇසී ය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එකෙණෙහි ම එළඹෙනු කැමැත්තේ ද විය.