10. 1. 10.
දුතියසුක්කා සූත්‍රය
244. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් සුක්කා මෙහෙණහට බොදුනක් දිනි. ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
යමෙක් සියලු කෙලෙස් ගැටෙන් මිදුනු සුක්කා මෙහෙණහට බොදුනක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කළේ ය.
10. 1. 11.
චීරා සූත්‍රය
245. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් චීරා මෙහෙණහට සිවුරක් දිනි. ඉක්බිති චීරා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වේලාවෙහි මේ ගාථාව කී ය:
යමෙක් සියලු යෝගවලින් මිදුනු චීරා මෙහෙණහට සිවුරක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කෙළේ ය.
10. 1. 12.
ආළවක සූත්‍රය
246. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර සමීපයෙහි ආළවක යකුගේ භවනයෙහි වැඩවසන සේක. එකල්හි ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
දෙවන වට දු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. තෙවන වටදු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. සිවුවන වට දු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව යි.
[අළව්:]
මහණ, තොපගෙන් පැණයක් විචාරන්නෙමි. ඉදින් මට (එය) නො විසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්‍ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නෙමි.
[භගවත්හු:]
ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්‍ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නේ ද, එබන්දකු මම නො දකිමි. වැලි දු ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි ද (එය) විචාරව යි.
ඉක්බිති ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
මෙ ලොව සත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කිමෙක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කුමක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියද්ද?