1. 8. 7.
ඉස්සර සූත්‍රය.
[දෙවි:]
77. ලොව අධිපති බව කිමෙක් ද? බඩු අතුරෙන් කිමෙක් උතුම් ද? ලොව මලබැඳි සැත කිමෙක් ද? ලොව උවදුරු කිමෙක් ද?
හැර ගෙණ යන කවරකු වළකත් ද? හැර ගෙණ යන කවරෙක් ප්‍රිය වේ ද? පුනපුනා එන කවරකු පණ්ඩිතයෝ පිළිගණිද් ද?
[භගවත්හු:]
ලොව වශය (අණ පැවැත්වීම) අධිපති බව යි. බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම් ය. ලොව ක්‍රෝධය මලබැඳි සැතයි. සොරු ලොව උවදුරුහ.
හැර ගෙණ යන සොරහු වළකත්. හැර ගෙණ යන මහණ තෙමේ ප්‍රිය වේ. පුනපුනා එන මහණහු පණ්ඩිතයෝ පිළිගණිත්.
1. 8. 8.
කාම සූත්‍රය.
[දෙවි:]
78. වැඩ කැමති සත්ත්‍ව තෙමේ කුමක් නො දෙන්නේ ද? කුමක් නො හරනේ ද? යහපත් වූ කුමක් මුදන්නේ ද? ලාමක වූ කුමක් නො මුදන්නේ ද?
[භගවත්හු:]
සත්ත්‍ව තෙමේ තමා නො දෙන්නේ ය. තමා නො හරනේ ය. යහපත් වචන මුදන්නේ ය. ලාමක වචන නො මුදන්නේ ය යි.
1. 8. 9.
පාථෙය්‍ය සූත්‍රය.
[දෙවි:]
79. කිමෙක මගඋවරණ බඳී ද? කිමෙක භෝගයන්ට පිහිට වේ ද? කිමෙක් මිනිසා අදනේ ද? ලොව කිමෙක දුර ලීමට දුෂ්කර ද? මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ කිමෙක බැඳුනාහු ද?
[භගවත්හු:]
ශ්‍රද්ධාව මගඋවරණ බඳී. ඓශ්වර්‍ය්‍යය භෝගයන්ට ප්‍රතිෂ්ඨාස්ථාන ය යි. තෘෂ්ණාව සත්ත්‍වයා අදනේ ය. ලොව තෘෂ්ණාව දුරලීමට දුෂ්කර ය. මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් බැඳුනෝ ය.
1. 8. 10.
පජ්ජෝත සූත්‍රය.
[දෙවි:]
80. ලොව පහන කිමෙක් ද? ලොව නිදිවරන්නා කවරෙක් ද? සමග ජීවත්වන්නවුන්ට කවරෙක් කර්‍මාන්තයෙහි (සහාය) වේ ද? කිමෙක් ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) වේ ද?
කිමෙක් අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද් ද?