8. ඣත්‍වා වර්‍ගය
1. 8. 1.
ඣත්‍වා සූත්‍රය
71. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
කුමක් නසා සුව සේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක්දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
[භගවත්හු:]
ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. දෙවිය, විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
1. 8. 2.
රථ සූත්‍රය.
[දෙවි:]
72. රියට සලකුණ කිමෙක් ද? ගින්නට සලකුණ කිමෙක් ද? රටට සලකුණ කිමෙක් ද? ස්ත්‍රියට සලකුණ කිමෙක් ද?
[භගවත්හු:]
ධ්වජය රියට සලකුණ යි. දුම ගින්නට සලකුණ යි. රජ රටට සලකුණ යි. සැමියා ස්ත්‍රියට සලකුණ යි.
1. 8. 3.
විත්ත සූත්‍රය.
[දෙවි:]
73. මෙලොව සත්ත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කුමක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කිමෙක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතියහ යි කියද් ද?
[භගවත්හු:]
මෙලොව සත්ත්‍වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරිය. නුවණින් ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතිහය යි කියත්.
1. 8. 4.
වුට්ඨි සූත්‍රය.
[දෙවි:]
74. නැඟගනුවන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ ද? හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම් ද? පයින් ගමන් කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? කථා කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? යි
[අනෙක් දෙවියෙක්:]
නැඟගනුවන් අතුරෙන් බිජුවට ශ්‍රේෂ්ඨ යි. හෙනුවන් අතුරෙන් වැස්ස උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් ගවයෝ උතුම්හ. කථා කරන්නවුන් අතුරෙන් පුත්‍රයා උතුම්ය යි.
[භගවත්හු:]
නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් අවිද්‍යාව උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් සඞ්ඝයා උතුම් ය. කථා කරන්නවුන් අතුරෙන් බුදුරජ උතුම් ය යි.