1. 8. 4.
වුට්ඨි සූත්‍රය.
[දෙවි:]
74. නැඟගනුවන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ ද? හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම් ද? පයින් ගමන් කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? කථා කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? යි
[අනෙක් දෙවියෙක්:]
නැඟගනුවන් අතුරෙන් බිජුවට ශ්‍රේෂ්ඨ යි. හෙනුවන් අතුරෙන් වැස්ස උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් ගවයෝ උතුම්හ. කථා කරන්නවුන් අතුරෙන් පුත්‍රයා උතුම්ය යි.
[භගවත්හු:]
නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් අවිද්‍යාව උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් සඞ්ඝයා උතුම් ය. කථා කරන්නවුන් අතුරෙන් බුදුරජ උතුම් ය යි.
1. 8. 5.
භීත සූත්‍රය.
[දෙවි:]
75. මහාප්‍රාඥ වූ ගෞතමයන් වහන්ස, මුඹවහන්සේ විචාරමි. මාර්‍ගය ද (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇත්තක් කොට ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ ලෝකයෙහි නොයෙක් ජන සමූහයෝ කුමට බිය වූවාහු ද? කිමෙක සිටියේ පරලොවට බිය නොවන්නේ ද?
[භගවත්හු:]
වචනය ද සිත ද මනා කොට පිහිටුවා, කයින් පව් නොකරණ, බොහෝ ආහාරපාන ඇති ගෙහි වසන, ශ්‍රද්ධාවත්, මෘදුගුණ ඇති, බෙදා දී වළඳන සුලු, දන්කලු, සිවු දහම්හි සිටි පුද්ගල තෙමේ දහම්හි සිටියේ පරලොවට බිය නො වන්නේ ය.
1. 8. 6.
නජීරතී සූත්‍රය
[දෙවි:]
76. කිමෙක් දිරා ද? කිමෙක් නො දිරා ද? කිමෙක් නොමග ය යි කියනු ලැබේ ද? දහමුන්ට උවදුරු කිමෙක් ද? කිමෙක් රෑදෙවෙහි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දියරහිත නෑම කිමෙක්ද?
යම් තැනක සිත නො සිටී නම් ලොව (එබඳු) සිදුරු කෙතෙක් ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි ඒ කෙසේ දනිමු ද?
[භගවත්හු:]
සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නාමගෝත්‍රය නො දිරයි. රාගය නොමග ය යි කියනු ලැබේ. ලෝභය දහමුන්ට උවදුරු ය. වයස රෑදෙවෙහි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ, තපස ද බඹසර ද (යන) එය දිය රහිත නමැයි.
යම් තැනෙක සිත නො සිටී නම් ලොව එබඳු සිදුරු සයෙකි. අලසබව ද පමාව ද නැගී නො සිටීම ද අසංවරය ද නින්ද ද තෙමරිය ද ඒ සිදුරු යි. එය සර්‍වප්‍රකාරයෙන් දුරු කරන්නේ ය.
1. 8. 7.
ඉස්සර සූත්‍රය.
[දෙවි:]
77. ලොව අධිපති බව කිමෙක් ද? බඩු අතුරෙන් කිමෙක් උතුම් ද? ලොව මලබැඳි සැත කිමෙක් ද? ලොව උවදුරු කිමෙක් ද?
හැර ගෙණ යන කවරකු වළකත් ද? හැර ගෙණ යන කවරෙක් ප්‍රිය වේ ද? පුනපුනා එන කවරකු පණ්ඩිතයෝ පිළිගණිද් ද?