1. 8. 11.
අරණ සූත්‍රය.
[දෙවි:]
81. මේ ලෙව්හි කවුරු කෙලෙස් නැත්තෝ ද? කවුරුන්ගේ විසීම නො නැසේ ද? මෙහි කවුරු තෘෂ්ණාව පිරිසිඳ දනිද් ද? කවුරුන්ට හැමකල්හි නිදහස්බව වේ ද?
(ශීලයෙහි) පිහිටි ඒ කවරකුට මවත් පියාත් බෑයාත් වැඳිද් ද? මෙලොව්හි පහත් ජාති ඇති කවරකුට ක්‍ෂත්‍රියයෝ වැඳිද් ද?
[භගවත්හු:]
මෙලොව්හි ශ්‍රමණයෝ කෙලෙස් නැත්තෝ ය. ශ්‍රමණයන්ගේ විසීම නො නැසේ. ශ්‍රමණයෝ තෘෂ්ණාව පිරිසිඳ දනිත්. ශ්‍රමණයන්ට හැමකල්හි නිදහස් බව වේ.
ශීලයෙහි පිහිටි ඒ ශ්‍රමණයාට මවත් පියාත් බෑයාත් වඳිත්. මෙහි පහත් ජාති ඇති ශ්‍රමණයාට ක්‍ෂත්‍රියයෝ වඳිත්.
ඣත්‍වා වර්‍ගය අට වැනියී.
එහි උද්දානය:
ඣත්‍වා, රථ, චිත්ත, වුට්ඪි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්‍ය, පජේජාත, අරණ ය යි සූත්‍ර එකොළොසෙකි.
දේවතා සංයුත්තය නිමියේ ය.
2. දේවපුත්ත සංයුත්තය
1. සුරිය වර්‍ගය
2. 1. 1.
පඨමකස්සප සූත්‍රය
82. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.
එකත් පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “භාග්‍යවතුන් වහන්සේ මහණහු පැවසූ සේක. මහණහට අනුශාසනාව නො ද (පැවසූ සේක) යි.”
[භගවත්හු:]
කාශ්‍යපය, එසේ වී නම් මෙහි ලා තොපට ම වැටහේවා.
“වාක්සුචරිතය වඩන්නේ ය. ශ්‍රමණයන් විසින් එළඹිය යුතු අටතිස් අරමුණු ද කායවිවේකය ද (අෂ්ටසමාපත්ති වශයෙන්) සිත සංහිඳුවීම ද එකලාව වඩන්නේ” යි.
කසුප් දෙව්පුත් තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ සමාන අදහස් ඇති වූ සේක.
ඉක්බිති කසුප් දෙව්පුත් තෙමේ ශාස්තෲන්වහන්සේ මාගේ (වචන) අනුමත කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
2. 1. 2.
දුතියකස්සප සූත්‍රය
83. සැවැත්නුවර–
එකත්පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමතිවන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක් මිදුනු සිත් ඇත්තෙක් (එහෙයින් ම) මනා සිත් ඇත්තෙක් (තෘෂ්ණාදෘෂ්ටින්) අනිඃශ්‍රිතයෙක් ඒ අර්‍හත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්න්නේ යි.