1. 5. 10.
ඝටීකාර සූත්‍රය
[ඝටීකාර දෙවි:]
50. භික්‍ෂූහු සත්නමක් සත්නමක් අවිහබඹලොවට පැමිණියාහු මිදුනාහු රාගද්වේෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළාහු ය.
තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් තරණය කළාහු කවුරු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සංඛ්‍යාත ඕරම්භාගිය සංයෝජන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජන) පසත් ඉක්ම ගියාහු ද?
උපක පලගණ්ඬ පුක්කුසාති යන තිදෙන ද, භද්දිය භද්‍දදේව බාහුදන්ති පිඞ්ගිය යන (සිවුදෙන ද) යන ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
[භගවත්හු:]
මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට ‘අනවද්‍යයහ’යි බෙණෙහි (පසස්නෙහි). ඔහු කවරෙකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?
[ඝටීකාර:]
ඔහු යමකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ නොහැර යි. මුඹ වහන්සේගේ සසුන ද නොහැර යි.
යම් නිවණෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද, මේ සසුනෙහි ඔහු ඒ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ය.
[භගවත්හු:]
ගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරෙකුගේ ධර්‍මය දැන මෙබඳු වචන කියහු ද?
[ඝටීකාර:]
පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපාසකයකු වූයෙම් මවුපියන් පොෂණය කරන්නෙකිම් වීමි.
මෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිස (=අනාගාමී) බ්‍රහ්මචාරියකු වූයෙමි. තොප හා එකගම වසන්නෙකිම් වීමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
ඒ මම රාගදේවේෂයන් ක්‍ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්‍ෂූන් සත්නම දනිමි.
[භගවත්හු:]
භාර්‍ගවය, යම්සේ කියහි නම් එකල්හි මේ එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් වූයේ ය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසක වූයේ මවුපියන් පෝෂණය කරන්නෙක් වූයේ ය.
මෙවුන්දමින් වැළකුනු නිරාමිස බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක ගම වසන්නෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් වී ය.
[තෙරහු:]
වඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනකුගේ මේ එක්වීම මෙසේ විය.
ආදිත්ත වර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
ආදිත්ත, කිංදද, අන්න, ඒකමූල, අනෝම, අච්ඡරා, වනරෝප, ජේතවන, මචේඡර, ඝටීකාර සූත්‍රයයි දශයෙකි.