1. 3. 8.
මහද්ධන සූත්‍රය
28. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහත්ධන ඇති මහත්භෝග ඇති රටවල් ඇති ක්‍ෂත්‍රියයෝ ද කාමයන්හි සෑහීමකට නො පැමිණියාහු ඔවුනොවුන් සැපත පතත්.
ඔවුන් (කාමයන්හි) උත්සාහවත් වූ කල්හි භවස්‍රෝතස අනු ව යන කල්හි මේ ලෝකයේ කවුරු තෘෂ්ණාව දුරු කළාහු ද? ලෝකයෙහි කවුරු (කාමයන්හි) උත්සාහ රහිත වූවාහු ද?
[භගවත්හු:]
ගිහිගෙය හැර ප්‍රිය වූ දරුවන් ද සිවුපාවුන් ද හැර පැවිදි වූ රාගයත් ද්වේෂයත් දුරු කොට අවිද්‍යාවත් නසා (සිටි) ක්‍ෂීණාස්‍රව වූ ඒ රහත්හු ලෝකයෙහි (කාමයන් සෙවීමෙහි) උත්සාහ රහිතයෝ ය.
1. 3. 9.
චතුචක්ක සූත්‍රය
29. සැවැත්නුවර–
[දෙවි:]
මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නව දොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම මෙසේ වන්නේ ද?
[භගවත්හු:]
රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ යි.
1. 3. 10.
එණිජඞ්ඝ සූත්‍රය
30. සැවැත්නුවර–
[දෙවි:]
එණිමුවකුගේ මෙන් කෙණ්ඩා ඇති කෘෂ වූ ස්වල්පාහාර ඇති ලොල් බැව් නැති, සිංහයකු මෙන් ඇතකු මෙන් එකලාව හැසිරෙන, කාමයන්හි නිරපේක්‍ෂ වූ වීරයන් වහන්සේ වෙත එළඹ කෙසේ දුකින් මිදේ දැ?යි විචාරමි.
[භගවත්හු:]
ලොව මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ ප්‍රකාශ කරණ ලදහ. මෙහි ඇල්ම දුරු කොට ලීමෙන් මෙසේ දුකින් මිදෙයි.
සත්තිවර්‍ගය තෙවෙනි යි.
එහි සූත්‍රනාමාවලිය:
සත්ති, ඵුසති, ජටා, මනෝනිවාරණ, අරහන්ත, පජේජාත, සර, මහද්ධන සූත්‍ර ද, නවවැනි චතුවක්ක සූත්‍රය ද, එණිජඞ්ඝ සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.
4. සතුල්ලපකායික වර්‍ගය
1. 4. 1.
සබ්භි සූත්‍රය
31. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) අභිවෘද්ධිය වෙයි. පිරිහීමෙක් නො වෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය: