1. 3. 3.
ජටා සූත්‍රය
23. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්‍ව ප්‍රජාව අවුලෙන් වේළුනී ය. එහෙයින් ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැ යි? එකරුණ පුළුවුස්මි.
[භගවත්හු:]
පිළිසඳනුවණ ඇති කෙලෙස් තවන වෙර ඇති තීරණප්‍රඥායෙන් යුත් සසර බිය දක්නාසුලු ඒ සත්ත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ අවුල නිරවුල් කරන්නේ යි.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හු ය. ඔවුන් විසින් තෘෂ්ණා නමැති අවුල නිරවුල් කරණ ලදී.
යම් තැනෙක නාමයත් රූපයත් ප්‍රතිඝයත් රූපසංඥාවත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද. මෙහි මේ තෘෂ්ණා නමැති අවුල සිඳේ යි.
1. 3. 4.
මනෝනිවාරණ සූත්‍රය
24. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් යමෙකින් සිත වළකන්නේ ද? එයින් එයින් ඔහුට දුක් නො පැමිණෙයි. හෙතෙමේ සියල්ලෙන් සිත වළකන්නේ නම් හෙතෙමේ සියලු දුකෙන් මිදෙයි.
[භගවත්හු:]
සියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි.
1. 3. 5.
අරහන්ත සූත්‍රය
25. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
[භගවත්හු:]
සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
[දෙවි:]
සිවු මගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? ඒ මහණ තෙමේ මානයට පැමිණ හෝ “මම කියමි” යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
[භගවත්හු:]
ප්‍රහීණ වූ මාන ඇති ඔහුට මානග්‍රන්‍ථිහු නැත. ඔහු විසින් සියලු මානග්‍රන්‍ථිහු වෙසෙසින් නසන ලද්දාහ. මනා නුවණ ඇති හෙතෙමේ මඤ්ඤන ඉක්ම වූයේ ය. හෙතෙමේ ‘මම කියමි’යි කියාත් කියන්නේ ය. හෙතෙමේ ‘මට කියති’යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ ඒ රහත් තෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාරමාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
1. 3. 6.
පජ්ජෝත සූත්‍රය
26. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර යි.